පොහොය ඉරිදා ටියුෂන් නවත්වමුද

මුහුණ සමග තරහා වී නහය කපා ගැනීම
හෙවත් ටියුෂන් තහනම 

ඉරිදා සහ පොහොය දිනයන්හි පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව යළිත් වරක්‌ විවාදයට භාජන වීමට පටන්ගෙන තිබේ. මෙම යෝජනාව දිගු කලක්‌ තිස්‌සේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌ව තිබූ අතර එය ක්‍රියාවට නැංවීම සඳහා විවිධ උපක්‍රමයන් ද භාවිත කරනු ලැබීය. කවුරු කුමන ක්‍රියාමාර්ග ගෙන තිබුණද එම යෝජනාව සක්‍රීයව ක්‍රියාත්මක කරවීමට නම් මේ වන තුරුත් කිසිවකු සමත් වී නැත. රජය ද මේ සඳහා අවංක වුවමනාවක්‌ ඇති බවක්‌ පෙන්නුම් කළත් එය නීතියක්‌ ලෙස සෘජුවම ක්‍රියාවට නැංවිය නොහැකි වාතාවරණයක්‌ යටතේ ඒ සඳහා යෙදිය හැකි විකල්ප ක්‍රියාමාර්ග සොයමින් කල්මරනු පෙනේ.

මෙවැනි විවාදාත්මක යෝජනාවක්‌ කරළියට පිවිසෙන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ විවිධ හැල හැප්පීම් මධ්‍යයේ වුවද සාර්ථකව ක්‍රියාත්මක වූ අප රටේ දහම් පාසල් ක්‍රමය වර්තමානය වන විට ඉතා සීග්‍ර පරිහානියකට ලක්‌වෙමින් පවතින බැවින්, ඊට එම ඉරණම අත්වීමට බලපෑ ප්‍රබලතම හේතුව ඉරිදා දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම නිසා, අප රටේ දරුවන් දහම් පාසල් නොගොස්‌ පෞද්ගලික පන්ති කරා ඇදීයැම හේතුවෙනි. ඒ සඳහා ලබාදිය හැකි එකම හා ස්‌ථීරසාර විසඳුම ඉරිදා දිනවල පෞද්ගලික පන්ති තහනම් කිරීම බවට තීරණය කිරීමත් සමගය.

මේවා කාගේ නිර්නායකයන් හා යෝජනාවන් දැයි නොදනිතත් මේ තුළ කිසියම් අනවබෝධයක්‌ හා මුළාවීමක්‌ ඇතැයි අපට සිතෙන්නේ මෙවැනි විසඳුම් මගින් අදාළ ගැටලුවට ස්‌ථීරසාර විසඳුමක්‌ ලබා දෙනවා වෙනුවට එය තව තවත් සංකීර්ණත්වයට පත්කිරීමටත්, ඒ තුළින් වෙනත් හානිකර ප්‍රවණතාවක්‌ ඉස්‌මතුවීමටත් එය ඉවහල් විය හැකි බැවිනි.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු මූලික ප්‍රස්‌තුතය වන්නේ පෞද්ගලික පන්ති තහනම් කිරීම නොව දහම් පාසල් නගාසිටුවන්නේ කෙසේද යන්න බව අප විසින් අවබෝධ කර ගත යුතු අතර පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව ඉස්‌මතුවන්නේ ඒවා පිළිබඳ ඇති වෛරයක්‌ නිසා ඒවාට තහංචි පැනවීමට ඇති වුවමනාව නිසා නොවන බවද වටහාගත යුතුය.

මූලික වශයෙන් මෙම ප්‍රස්‌තුත කාරණය හා යෝජනාව පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා මෙවැනි සරල කාලීන උදාහරණයක්‌ යොදාගත හැකිය.

වර්තමානයේ මෙරට පවතින තවත් එක්‌ ප්‍රධාන ගැටලුවක්‌ බවට පත්ව ඇත්තේ වනාන්තරයේ වෙසෙන අලි ඇතුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ ගැමියන්ගේ ජීවිත හා ගොවි බිම් විනාශ කිරීමය. අලි ඇතුන් මෙසේ ගම් වදින්නේ සීග්‍ර ලෙස ඔවුන්ගේ නිජබිම් අහිමිවීමත් ඒ තුළ ඔවුනට අවශ්‍ය ආහාර නොමැති වීමත් නිසා මිස මිනිසුන් සමග ඇති වෛරයක්‌ නිසා හෝ ගොවි බිම් විනාශ කිරීමට ඇති වුවමනාවන් නිසා නොවේ.

මෙසේ ආහාර හිඟවීම නිසා එම ආහාර සොයා ගම්වදින අලි ඇතුන් නැවැත්වීමටනම් ගම්වල ඇති හේන් වගාවන් විනාශ කළ යුතු බවත් හේන් වගාවන් නවතා දැමිය යුතු බවටත් කිසිවකු යෝජනා කරන්නේ නම් එය කෙතරම් හාස්‍යජනක යෝජනාවක්‌ වනු ඇත්ද?

අනාදිමත් කාලයක්‌ තිස්‌සේ අප රටෙහි ක්‍රියාත්මක වූ දහම් පාසල් ක්‍රමය මෙරට ජනතාවට ගුණගරුක, සදාචාර සම්පන්න උදාර සමාජ සංස්‌කෘතියක්‌ උරුම කර දීමට යම් මට්‌ටමකින් හෝ දායකත්වයක්‌ සැපයූ බව රහසක්‌ නොවේ. පවතින තරගකාරී අධ්‍යාපන රටාව හා වෙනත් විවිධ බලවේගයන් හේතුවෙන් එවන් අගනා මෙහෙවරක්‌ ඉටුකරනු ලැබූ දහම් පාසල මේ වන විට දැඩි පරිහානියකට පත්වෙමින් පවතින බව දනිමු. අනාගතයේ බිහිවන සමාජය ශ්‍රේෂ්ඨ ගුණගරුක ජනතාවකගෙන් හෙබි සමාජයක්‌ බවට පත්කරලීමට නම් මෙම ව්‍යසනය හැකි ඕනෑම පියවරක්‌ මගින් වහා මැඬ පවත්වා දහම් පාසල යළි නගාසිටුවිය යුතු බවට කිසිදු විවාදයක්‌ නැත. එහෙත් ඒ සඳහා කළ යුත්තේ වල්අලි ගම් වැදීම නැවැත්වීමට වගාබිම් විනාශ කළ යුතු යෑයි යෝජනා කරන්නා සේ පෞද්ගලික පන්ති තහනම් කළ යුතුයෑයි හඬ නැඟීම නොව දරුවන් දහම් පාසල් නොගොස්‌ පෞද්ගලික පන්තියට යන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි විමර්ශනාත්මකව සොයා බැලීමයි.

පෞද්ගලික පන්ති ගුරුවරයා පිළිබඳ සමාජය තුළ පවතින පොදු ප්‍රතිරූපය එතරම් සුබදායී නොවුවද කිසිදු පෞද්ගලික පන්ති ගුරුවරයකුට ඉරිදා දිනවල බලහත්කාරයෙන් දරුවන් තම පන්තිවලට ගෙන්වාගත නොහැකිය. දරුවන් පංතිවලට යන්නේ හා දෙමාපියන් තම දරුවන් පංතිවලට යවන්නේ සිය කැමැත්තෙන්ම මිස බලහත්කාරයෙන් නොවේ. යම් හෙයකින් මෙරට සියලු දරුවන් ඉරිදා දිනයෙහි පෞද්ගලික පන්තිවලට නොයා සිටියහොත් ගුරුවරුන්ට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක්‌ නැත. එබැවින් මෙම ගැටලුවේදී එම ගුරුවරුන් වැරැදිකරුවන් බවට පත්කරමින් ඔවුනට දෙස්‌ දෙවොල් තැබීම එතරම් සාධාරණ නොවේ.

මෙම සංකීර්ණ වාතාවරණය යටතේ අපගේ අවධානය යොමු වියයුතු ප්‍රධානතම කාරණය වන්නේ මෙතරම් හැල හැප්පීම් මධ්‍යයේ වුවද දරුවන් දහම් පාසල අතහැර පෞද්ගලික පන්තිය වෙත ඇදී යන්නේ කුමන හේතුවක්‌ නිසාද යන්නයි.

කිසියම් දෙයක්‌ කෙරෙහි කිසිවකුගේ නැඹුරුවක්‌ ඇතිවීමේදී ඊට ප්‍රධාන වන්නේ එම පුද්ගලයාට ඒ පිළිබඳව ඇති අවශ්‍යතාවයයි. මෙහිදී ද සිදුවී තිබෙන්නේ දරුවන්ට දහම් පාසලට වඩා පෞද්ගලික පන්තියේ අවශ්‍යතාව ප්‍රබල වීම බව ඉතා පැහැදිලිය. එබැවින් මෙම ගැටලුවට ස්‌ථීරසාර විසඳුමක්‌ ලබා දීමට නම් කළයුතු වන්නේ දහම් පාසල සහ දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ගේ අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක්‌ බවට පත් කිරීමය. එවිට නිරායාසයෙන්ම ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නතර වෙනවා ඇත.

දහම් පාසල හා දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කිසියම් විටිනාකමක්‌ ලබාදීම සඳහා සැලකිය යුතු මට්‌ටමේ නොවුවද වරින්වර යම් යම් යෝජනා ඉදිරිපත් වුවත් ඒ කිසිදු යෝජනාවක්‌ ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට මේ වනතුරු කිසිවෙක්‌ ක්‍රියාකර නොමැති බවද අපි අවංකව පිළිගත යුතුව ඇත. එසේම පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව එම අනෙකුත් යෝජනා කිසිම වග විභාගයකින් තොරව කුණු කූඩයට දැමීම සඳහා කදිම උපකාරකයක්‌ කරගෙන ඇති බව ද පෙනේ.

මෙසේ ප්‍රශ්නයේ යථාර්ථය වටහා නොගෙන යම් හෙයකින් ඉරිදා දිනවල පෞද්ගලික පන්ති තහනම් කළහොත් එතැන් පටන් මෙරටේ සියලුම දරුවන් නියත වශයෙන්ම දහම් පාසල් වෙත යනු ඇතැයි අපට නිශ්චය කළ හැකිද? එසේම ඔවුන් මෙම කාලය වෙනත් ඵලදායී නොවන කාර්යයන් සඳහා යොදා ගැනීමට ඉඩ කඩක්‌ නොවන්නේ යෑයි ද අපට සහතික විය හැකි ද?

කවුරු කුමන ආකාරයේ විග්‍රහයන් ඉදිරිපත් කළ ද දහම් පාසල් අධ්‍යාපනය යනු දරුවකුගේ සාමාන්‍ය අධ්‍යාපන රටාව තුළ හෝ බාහිර සමාජය තුළ හෝ තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සාධකයක්‌ බවට මේ වනතුරුත් පත්වී නොමැත. එබැවින් එය මෙරට ජාතික අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය සාධකයක්‌ බවට පත්කළ යුතු අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කළ යුතුය. එකම දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක වුවද මෙම අමාත්‍යාංශ දෙක තුළ කිසිදු අවස්‌ථාවක කිසිදු සම්බන්ධීකරණ ක්‍රියාවලියක්‌ සිදුවන්නේ නැත. ආගමික කටයුතු අමාත්‍යාංශය / බුද්ධසාසන අමාත්‍යාංශය හා අදාළ දහම් පාසල් තමන්ටම අවේණික වූ ක්‍රමවේදයකට අනුව දහම් පාසල් පවත්වාගෙන යන අතර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සඳහා කිසිදු මැදිහත්වීමක්‌ හෝ මඟපෙන්වීමක්‌ සිදු නොවේ. එබැවින් දරුවන්ට නිරවුල් හා සාර්ථක අංග සම්පූර්ණ අධ්‍යාපනයක්‌ ලබාදීමට ද මෙම සම්බන්ධතාව ඉවහල් වනු ඇත.

මෙහිදී මූලික වශයෙන්ම කළයුතු වන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ උපදේශකත්වය හා මගපෙන්වීම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්‍ෂණය ද යටතේ දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය තරගකාරී අධ්‍යාපන රටාවට ගැලපෙන පරිදි ගුණාත්මකව වර්ධනය කිරීමය. ඒ සඳහා දහම් පාසල් ගුරු භවතුන්හට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විධිමත් පුහුණුවක්‌ ලබාදිය හැකිය. ඉන් අනතුරුව දහම් පාසල සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේම එක්‌ අංශයක්‌ බවට පත්කළ යුතු අතර එමගින් ඉරිදා දිනය ද පාසල් දිනයක්‌ සේ සලකා කටයුතු කළ හැකිය. ඒ සඳහා ආගම විෂය පාසලෙන් ඉවත්කර දහම් පාසල වෙත පවරා එහි අධීක්‍ෂණය සඳහා පාසල්වල ආගම විෂය උගන්වන ගුරුවරුන් හෝ උපාධිධාරී ගුරුවරුන් හෝ යොමු කරවිය හැකිය.

මේ තුළින් අදහස්‌ වන්නේ පාසලේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය එහෙම පිටින්ම දහම් පාසල වෙත ආරෝපණය කිරීම හෝ දහම් පාසල, පාසල වෙත රැගෙන යැම හෝ නොවන බව අවධාරණය කළ යුතුය. දහම් පාසල නම් ආයතනය තුළ පවතින ඊටම අනන්‍ය වූ ක්‍රමවේදයන් එලෙසම හා ඊටත් වඩා විධිමත්ව පවත්වා ගනිමින් ඒවා මෙහෙයවනු ලබන ගෞරවණීය ප්‍රධානීන් වහන්සේලාගේම අධීක්‍ෂණය යටතේ මෙතෙක්‌ පැවැති සිද්ධස්‌ථානවලම ඒවා ක්‍රියාත්මක විය යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ යුත්තේ පාසල හා දහම් පාසල අතර ඒකාබද්ධ පරිපාලන ව්‍යqහයක්‌ ගොඩනැඟීමත් අදාළ ප්‍රදේශවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් හරහා එය සම්බන්ධීකරණය කරමින් අධීක්‍ෂණය කිරීමත් පමණි. එසේම මෙම ආගමික අධ්‍යයන පිළිවෙතෙහි න්‍යායාත්මක හා ප්‍රායෝගික අංශයන් සංකලනය වන පරිදි ඇගයීමට ලක්‌ කිරීමේ විශේෂ ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතු අතර එය පාසල් විෂය මාලාවේ කඩඉම් විභාග සඳහා තීරණාත්මක සාධකයක්‌ බවට ද පත්කළ යුතුය.

මෙසේ දහම් පාසල සාමාන්‍ය පාසල් අධ්‍යාපනයේම අංශයක්‌ බවට පත්කළ හැකි වුවහොත් එම වැඩපිළිවෙළ හරහා මෙරට පාසල් යන සෑම දරුවකුටම සිය ආගම හා සදාචාර වර්ධනය පිළිබඳ පරිපූර්ණ නිපුනතාවක්‌ අනිවාර්යයෙන්ම ලබාදිය හැකිවනු ඇත. එසේම ඒ තුළින් පාසල, පාසල් දරුවා සහ ආගමික සිද්ධස්‌ථාන අතර නොබිඳෙන දැඩි සම්බන්ධතාවක්‌ ද ගොඩනැඟෙනු ඇත. එය අප හැමදාමත් අපේක්‍ෂා කරන සදාචාර සම්පන්න මතු පරපුරක්‌ අප රට තුළ නිර්මාණය කිරීමේ කාර්යය සාර්ථක කර ගැනීමටත්, දහම් පාසල් හා ආගමික සිද්ධස්‌ථානය හැම ජනකොටසක්‌ වෙතම වඩ වඩාත් සමීප කරවීමටත් බෙහෙවින් ඉවහල් වනු ඇත.

මේ අදහස්‌ හා යෝජනා කිහිපයක්‌ පමණි. මේවා විවාදාත්මක හා ආන්දෝලාත්මක විය හැකිය. එසේම ඉතා පහසුවෙන් ආවාට ගියාට ක්‍රියාත්මක කළ නොහැකි ඒවාද විය හැකිය. එහෙත් ගැටලුවේ යථාර්ථය නිවැරැදිව අවබෝධකර නොගෙන පෞද්ගලික පන්ති තහනම මතම එල්බගෙන සිටින වගකිවයුත්තන් හා බලධාරීන් වහා මෙවැනි අදහස්‌ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත. එසේ නොමැතිව මුහුණ සමග තරහ වී නාසය කපා ගන්නා සේ යම් හෙයකින් පෞද්ගලික පන්ති තහනම් කිරීම ක්‍රියාත්මක කළ ද දහම් පාසලෙහි බිඳ වැටීම ඒ තුළින් වළක්‌වාලිය නොහැකි වනු ඇත. අවසානයේ මෙසේ ඒ පිළිබඳ කතා බහ කිරීමට තරම්වත් දහම් පාසල නමින් අර්ථාන්විත වූ ධර්මායතනයක්‌ මෙරට අනාගත පරපුර වෙනුවෙන් මතු දිනයකදී ඉතිරි නොවනු ඇත.

නන්දන ශ්‍රී පතිරණ

මෙම ලිපිය බෙදාගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න