අන්න බලන් නරසීහ පියා…

 

අන්න බලන් නරසීහ පියා…

යශෝදරාවන් සිය පුතුට බුදු හිමි හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයක් ඇසුරෙන් රචිත නරසීහ ගාථා පිළිබඳ ඇගයීමකි මේ.
තිලකරත්න
කුරුවිට බණ්ඩාර
‘සිළුමිණ’ පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක
අවශේෂ ප්‍රජාව පරදවා ජය ගන්නවාට වඩා තමා තුළ පවත්නා රාග, ද්වේෂ, මෝහාදි ක්ලේශ ධර්මයන් මැඩ පවත්වා ආත්ම විජය ලැබීම හෙවත් තමා දිනාගැනීම ඒකාන්තයෙන් ම ශ්‍රේෂ්ඨ ය. නිබඳ සංයත ව සංයමයෙන් යුතු ව හැසිරෙන, ආත්ම දමනය ඇති කරගත් පුද්ගලයාගේ ඒ ආත්ම විජය පරාජය කරන්නට දෙවියකු වත්, ගාන්ධර්වයකු වත්, මාරයා වත්, බ්‍රහ්මයා වත් සමර්ථ නො වේ යැ, යි සහශ්‍ර වග්ගයෙහි සඳහන් වෙයි.

රාග, ද්වේෂ, මෝහාදි ආශ්‍රවයන් නිසා සසර ඇටවූ මලපුඬුවල හසු වෙමින්, නොදැමුණු, නොහික්මුණු සිත් නිසා දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවයෙන් අපමණ වදවේදනා විඳිමින්, වෛරයෙන් ක්‍රෝධයෙන් ලොව ගිනි ගන්වමින්, අක් මුල් නැති සසර කතරේ අතරමං ව නන්නත්තාරේ යන අප්‍රමාණ සත්ත්වයන් තුළ බුද්ධ ප්‍රසාදයත්, ශ්‍රද්ධා භක්තියත් වඩනු පිණිස කවීන් විසින් බඳින ලද්දා වූත්, ගොතන ලද්දා වූත් ප්‍රබන්ධාවලිය එක ම බුදු පුද පෙරහරක් සේ සැලකිය යුතු වන්නේ ය.
සව්නේ ගෙවා දත් හට, ස්වකීය හෘදය මන්දිර ගඳකිළි කොටැගත් කවීන්ගේ, අනල්ප ප්‍රතිභාව විකසිත වීමට බුද්ධ භක්තිය මහත් පිටුබලයක් වූ බවට, බෝසත් ගුණයට – බුදු ගුණයට ආකර වූ සාහිත්‍යාවලිය ජීවමාන සාධකයක් වන්නේ ය.
මූර්ධන් බුද්ධං නමත්වං ශ්‍රවණ ගෘනු
සදා ධර්මමද් වෛධමාදි
ප්‍රොක්තං සර්වඥ රූපං නයන නිරුපමං
පශ්‍ය ජඝ්‍රාංඝ්‍රීපද්ඝ්‍රමම්
ඝ්‍රාණං ත්වං චාර්ක බන්ධොඞස්තුහි ස්ඛිරසනෙ
ශ්‍රී ඝනම් පූජයෙථාස්
සිද්ධ ප්‍රාණෙව්‍රජාංග්‍රෙ
ජිනදසනමදස්සද්ගුණං චිත්ත වින්න්‍ය
මෙම සකු භක්ති ගීතය කොතරම් චමත්කාරජනක ද?
‘මාගේ මුදුන, ඔබ බුදුන් වඳින්න. සවන, හැමදා බුදු දහම වඳින්න. නයන, නිරුපම සර්වඥ රූපය බලා වඳින්න. නැහැය, බුදු සිරිපා පියුම් සිඹින්න. සිත බුදු ගුණ ම සිතන්න.’
පාලි භාෂාවෙන් ලියැවුණු බුදු ගුණ ගී අතර වඩාත් ප්‍රචලිත වූ ද චිර සම්භාවිත වූ ද රස චෂකයක් වූ ද නරසීහ ගාථා අෂ්ටකයක් ඇත්තේ ය (මෙහි එය නවයක් වී ඇත). ප්‍රථම බුදු ගුණ ගී ගායනය සේ සැලකෙන මෙම ගාථාවලිය, යශෝදරා දේවීන් විසින් කරනු ලබන වර්ණනයක් පරිද්දෙන් රචිත ය. සිදුහත් කුමරා බුදු පදවි ලැබ මුල් වරට කිඹුල්වත් පුරට වැඩම කළ අවස්ථාවේ මහ සඟ ගණ පිරිවරා පිඬු සිඟා වඩිනු දුටු යශෝදරා දේවිය විසින් මෙම නරසීහ ගාථා ගායනා කෙරිණැ යි සැලකේ. මේ ගාථාවලිය සඳහන් වන පැරණි ම ග්‍රන්ථය වූකලි පූජාවලිය යි.
එහි රසය වඩාත් උද්දීපනය වනුයේ බිම්බා දේවිය ස්වකීය පුත්‍රයාට, රහල් කුමරුන්ට පියාණන්දෑ පිළිබඳ කියන විස්තර වර්ණනයේ චමත්කාරයෙනි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණත්, අශීත්‍යනුව්‍යංජනයත් ගෙන හැර දක්වා ඇය රහල් පුතුට කියන්නේ ‘ඒසහි තුය්හ පිතා නරසීහෝ’ – ‘හේ ඔබැ වේ ය පියා නරසී වූ’ යනුවෙනි.
චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ

ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

ධර්ම පාඨශාලාවන්හි ධර්මය හදාරන දරුවන් විසින් වනපොත් කර මධුරස්වරයෙන් ගයනු ලබන මෙම ගාථාවලිය අතිශය මිහිරි බුද්ධ ශ්‍රී වර්ණනයකි (මීට නෑකම් කියන, සංස්කෘත භාෂාවෙන් රචිත නරසීහ ගාථාවලියක් ද ඇත). පූර්වෝක්ත, ප්‍රචලිත නරසීහ ගාථා පොලොන්නරු අවදියේ නිබන්ධිත යැ යි අයෙක් කියති. මෙම පාලි ගාථාවලියේ අරුතැති එම විරිතින් ම ලියැවුණු සරල වූ ද, මටසිලිටි වූ ද ශෛලියකින් රචිත සිංහල නරසී ගී පන්තියක් ද ඇත. ඒ මෙසේ ය:

සක් ලකුණෙන් වර රත් සොඳ පාදේ
ලස්සණයෙන් වැඩුණූ විළුඹැත් දික්
සේමර සත් බැබැළූ දෙපතුල් ඇත්
මේ තෙම තා පිය වේ නරසී වූ

සක් කුමරා වර සිව්මැලි වූ ඒ
ලස්සණයෙන් පළ පුන් සිරුර ද ඇත්
ලෝ වැඩෙහී ඇලුණූ නරවීරා
මේ තෙම තා පිය වේ නරසී වූ

පුන් සස ලක් සඳ වන් මුහුණක් ඇත්
දෙව් මිනිසුන් පිය වූ නරනාතා
මත් ගිජිඳුන්ගෙ විලස් ගමනැත්තේ
මේ තෙම තා පිය වේ නරසී වූ

කැත් කුලයෙන් පළ වූ කුලවත් වූ
දෙව් මිනිසුන්ගෙ වැඳුම් ලද පා ඇත්
සීල සමාදි ගුණෙන් සිත තැන්පත්
මේ තෙම තා පිය වේ නරසී වූ

දික් ව ද උස් ව ද පිහිටිය නාසේ
ගෝ පිය වන් පිය වන් නිලු වන් නෙත්
දෙව්දුනු තුල් අබිනිල් දෙබැමින් යුත්
මේ තෙම තා පිය වේ නරසී වූ

ආවට වූ මට වූ ගෙල ඇත්තේ
සී හනු යුත් මුව රාජ සරීරැත්
රන් පැහැ යුත් සිරියෙන් පැහැපත් වූ
මේ තෙම තා පිය වේ නරසී වූ
බෝ සිනිඳූ ගැඹුරූ මියුරූ ගොස්
හිංගුල කන්ද සෙ රත් යහපත් දිව්
පෑ කොඳ වන් සම වූ සතළිස් දත්
මේ තෙම තා පිය වේ නරසී වූ

යේ ද අහස්හී පුන් සඳ වාගේ
යම් උතුමෙක් තරුවෙක් වට ලෑ වූ
සාවකයන් මැදෙහී වඩනා වූ
මේ තෙම තා පිය වේ නරසී වූ

රහල් කුමරුන්ට බුදු රදුන්ගේ රූප ලාවණ්‍යය වර්ණනය කළ මුත් උන් වහන්සේ ගුණවත් භාවයේ පුංජයක් ලෙස ද, දිව්‍ය බ්‍රහ්මයන්ගේත් මනුෂ්‍යයන්ගේත් වන්දනයට භාජන වූ පූජාතිපූජනීය වූ වන්දනීයාභිවන්දනීය වූ නරසීහයාණන් වහන්සේ ලෙස ද නිරූපණය කැරේ.

කෙසේ වෙතත් සිත කෙලෙස් රජසින් විනිර්මුක්ත කොටැ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටුවනු පිණිස මධුර ස්වරයෙන් ගායනා කළ හැකි පරිදි කවි කුරවීකයන් විසින් රචනා කරන ලද නිබන්ධ අතර මේ නරසීහ ගාථාවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.
මෙම ලිපිය බෙදාගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න