රාජ්‍යය පාලනය හා භික්ෂුව

රටක ප්‍රදේශයක ජනතාව ඒකරාශී කිරීමේ හා සංවිධානය කිරීමේ ප්‍රධාන බලවේගය ලෙසින් ආගමික පාර්ශවයෙන් ඉටු වී ඇති කාර්යභාරය සුළුපටු නොවේ. මුල් ගෝත්‍රික සමාජවල පවා ගෝත්‍රික නායකත්වය බිහිවීමෙහි ලා මෙන් ම එම නායකත්වය හැඩගැස්වීමේ හි ලා ද ආගමික නායකත්වය ලැබී ඇති බව සාධක දක්නට ලැබේ. ඉන්දීය සමාජය හැඩගැස්වීමේ හි ලා බ්‍රාහ්මණයන් ගේ දායකත්වය ලැබුණේ යම් සේ ද එසේ ම පුරාතන ශ්‍රී ලාංකේය සමාජය සංවිධානය කිරීමෙහි ලා බෞද්ධ භික්ෂුන්ගෙන් ද එයට නොදෙවෙනි දායකත්වයක් ලැබී ඇත. ආගමක් තුලින් ජනතාව සුචරිතවාදී ජීවිතයකට පෙළ ගැස්වීම සමාජය පාලනය කරන පාලකයෙකුට පාලන කටයුතු ගෙන යාමට පහසුවක් වේ. ආගම හා සදාචාරය හොඳින් ව්‍යාප්ත වූ සමාජයක පාලකයෙකුට පාලන කටයුතු ගෙන යාමට පහසුවක් වන බැවින් එවැනි තත්වයක් තම පාලන බල ප්‍රදේශය තුළ වර්ධනය වීමට ඉඩහළ යුතු බව මකියාවෙලී පවසා ඇත.

z_p12-Great01

අනුබුදු මිහිඳු මාහිමියන් මෙරටට බුදු දහම හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාව දහම් ද්වීපයක්‌ බවට පත්විය. ලොව සෙසු රටවල් අතරින් ලංකාව සුවිශේෂ වූයේ බුදු දහමේ ආලෝකය නිසයි. මෙරට බෞද්ධ සංස්‌කෘතියක්‌ ගොඩනැගීම සඳහාත් දැහැමි දේශපාලන සංස්‌කෘතියක්‌ උදා කිරීම සඳහාත් ලාංකීය භික්‍ෂුවගෙන් ඉටු වී ඇති කාර්යභාරය සුළුපටු නොවේ. බුදු සමය ලැබීමත් සමඟ සෑම රජ දරුවෙකු ම බෝධිසත්ව ගුණයෙන් යුතු වූහ. භික්‍ෂුන් වහන්සේ දැකීම, ගුණයෙන් යුතු වූහ. භික්‍ෂුන් වහන්සේ දැකීම පවා මංගල ලක්‍ෂණයක්‌ ලෙස සිතූහ. සෑම රජෙකුම බෞද්ධ භික්‍ෂුන්ගේ අවවාද අනුශාසනා පිළිගෙන ඒ අනුවම රට පාලනය කරන්නට වූහ. තෙරුවන් සරණ ගිය දැහැමි උපාසකයකු වූ රජු භික්‍ෂුන් වහන්සේ සමඟ ඇසුර බෙහෙවින් ප්‍රිය කළහ. භික්‍ෂුව යනු රාජ්‍ය උපදේශකයා ය. ජාතියේ මුර දේවතාවුන් වහන්සේය. යන පිළිගැනීමෙන් යුතුව රජු ක්‍රියා කළ අතර භික්‍ෂුන් කෙරෙහි අපමණ සැදැහැ සිතකින් ක්‍රියා කළ බව වංශකථාවන් ගෙන් පැහැදිලි වේ.

භික්ෂුව හා පාලකයා වනාහි දෙයාකාරී අරමුණු මත සංවිධානය වූ නැතහොත් අධ්‍යාත්මික හා ලෞකික යන අංශයන් හි අරමුණු මත පවත්නා වූ ආයතන දෙකක ක්‍රියාකාරී නියමුවෝ වෙති. ප්‍රතිපත්තිමය වශයෙන් දෙමඟක ගමන් ගත්ත ද ක්‍රියාකාරිත්වයේ දී ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය බැඳීමකින් යුතුව බැඳීමකින් ක්‍රියා කළ බව පැහැදිලි ය. එබැවින් පාලකයා හා භික්ෂුව අතර සම්බන්ධතාවයක් ඇති වීම පුරාතන ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආගමික ඉතිහාසය පිළිබඳව අධ්‍යනයේදී පැහැදිලිව ඉස්මතු වන කරුණකි. මහින්දාගමනයෙන් පසුව බුදු දහමින් ඔදවැඩුණු ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ ආගම තුලින් වෙන් වූ පාලකයන් හෝ පාලකයන්ගෙන් වෙන් වූ ආගමක් පිළිබඳව අධ්‍යනය කිරීමට ඇති අවකාශ ඉතා සීමිත ය. එමෙන් ම භික්ෂුව හා පාලකය අතර ගොඩනැඟුණු මෙම සම්බන්ධය යහපත් ප්‍රතිපල මෙන් ම අයහපත් ප්‍රතිපල ඇති වීම කෙරෙහි ද බලපා ඇත.

දේශපාලන ක්ෂේත්‍රය තුළ භික්ෂුවගේ ක්‍රියාකාරිත්වය

දේශපාලනය, භික්ෂුවකගේ ආකල්පනයට විෂය නොවන මුත් බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කල තැන් පටන් පාලකයින් ලෙසින් ශාසනයේ දියුණුවට ඉටු වූ සේවය මතත්, පාලකයා සහ භික්ෂුව අතර මුල් කාලයේ සිට ම පැවති සමීප සම්බන්ධතා නිසාත්, භික්ෂුවට එම ක්ෂේත්‍රයෙන් ඈත්ව විසිය නොහැකි විය. සංඝ සමාජය මුල් කාලයේ සිට ම ලෞකික අධිකාරීන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට කටයුතු කරනු ලැබූ බව දක්නට ලැබේ. සමාජයේ එක අංගයක් වූ පාලන සංවිධානය නිසි මඟට යොමු කරලීමට හා බුද්ධිමය නායකත්වයක් ඇති කරලීම සඳහා පූජ්‍ය පක්ෂය ලෙසින් මහත් කාර්යයක් භික්ෂූන් විසින් කළ යුතු ව තිබුණි. රාජ්‍ය පාලනය තුළ භික්ෂුව කෙලින් ම දේශපාලන ක්ෂේත්‍රය තුළට ඇතුල්ව බලපෑම් නොකළ මුත් වක්‍රාකාරයෙන් දැක් වූ සහාය දේශපාලන සංවිධානයේ මෙන් ම පාලන නායකත්වයේ හැඩ ගැසීමට එක් හේතුකාරකයක් විය. රාජ්‍ය පාලනය විෂයෙහි භික්‍ෂුව සතු කාර්ය රැසක්‌ වූහ.

  1. රාජ්‍ය උපදේශකත්වය.
  2. ආචාර්යවරුන් ලෙස කටයුතු කිරීම.
  3. පාලකයන් උපද්‍රව වලට ලක් වූ විට සහය වීම
  4. රාජ්‍ය නායකයන් පත් කිරීම.
  5. පාලකයන් සමගි කරවීම.
  6. පවිටු පාලකයන් නෙරපා හැරීම
  7. රජවරුන්ට එරෙහිව විවිධ අරගල ඇති කිරීම

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩමවීමට පෙර රජුගේ උපදේශක ලෙස ක්‍රියා කළේ බමුණු පුරෝහිතයෙකි. පසුව එම උපදේශක තනතුර බෞද්ධ භික්‍ෂුවට හිමිවිය. බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ ම අනෙකුත් සමාජ අංශවල මෙන් ම දේශපාලන ක්ෂේත්‍රය තුල ද භික්ෂුවගේ උපදේශකත්වයට සුවිශේෂී ස්ථානයක් හිමි විය. ආගමික දැනුම හා අනෙකුත් විෂයන් සම්බන්ධව තිබූ දැනුම නිසාත් සමාජය හැසිරවීමේ බලයක් භික්ෂුව වෙත ලැබුණි. වංසකතා තොරතුරු වලට අනුව පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස වැනි මුල් කාලීන පාලකයන්ට පුරෝහිතයන් සිටි නමුත් ඉන්පසු කාල පරිච්ඡේදය තුළ පුරෝහිතගේ සහාය අනෙකුත් පාලකයන් වෙත ලැබුණු බවට සාක්ෂි නොමැත. එමෙන් ම භික්ෂුව විසින් පුරෝහිත තනතුර දැරුවේ ය යන්න ද මූලාශ්‍රයෝ නොදක්වයි. එනමුත් භික්ෂූන් පාලකයන්ට වඩාත් සමීප ව විසූ බව හා විවිධ උපදේශ ලබා දුන් අවස්ථා පිළිබඳව තොරතුරු ඇති බැවින් පුරෝහිතගෙන් ඉටු වූ කාර්ය භික්ෂූන්ගෙන් ඉටුවන්නට ඇතැයි සිතිය හැකිය. රජු රට පාලනය කළේ එතැන් සිට භික්‍ෂුන් වහන්සේගේ උපදෙස්‌ අනුවය. අපක්‍ෂපාතීව, සාධාරණව, යුක්‌තිගරුකව, ධාර්මිකව රට පාලනය කරන ලෙසට භික්‍ෂුව රජුට උපදෙස්‌ දුන්හ. එම උපදෙස්‌ ඉමහත් ගෞරවයෙන් පිළිගත් රජ දරුවෝ ඒ අනුව රට පාලනය කොට ජනතා සුබ සිද්ධිය සැළසූහ. මහාවංශයට අනුව දෙවනපෑතිස්‌ රජුට මිහිඳු මාහිමියන් ද, සද්ධාතිස්‌ස රජුට කාලබුද්ධරක්‌ඛිත හිමියන්ද, වළගම්බා රජුට මහා තිස්‌ස හිමියන් ද, කණිට්‌ඨතිස්‌ස රජුට මහානාග හිමියන්ද, මහසෙන් රජුට සංඝමිත්‍ර හිමියන් ද, රාජ්‍ය පාලනයට අවැසි උපදෙස්‌ ලබාදුන් බවත්, ඒ අනුව ම රජවරු රට පාලනය කළ බවත් සඳහන් වේ.

දේවානම්පියතිස්ස රජු ද මහින්ද තෙරුන් ගෙන් උපදෙස් හා අනුශාසනා බලාපොරොත්තු විය. කාවන්තිස්ස රජුට විහාරමහා දේවියගේ සොහොයුරෙකු වූ චුල්ලපිණ්ඩපාතික තිස්ස, ත්‍රිපිටක තිස්ස වැනි වියත් භික්ෂූන් නිරතුරුව ම උපදේශයන් ලබා දුන් අයුරු ධාතුවංසයේ දැක් වේ. කාවන්තිස්ස රජු තම කුලදේවතාවුන් ලෙස භික්ෂුව සැලකු බව සිය පුතණුවන්ට කරන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. වංසකතාවන්හි දැක්වෙන පරිදි තමා සමඟ යාම පිණිස භික්ෂු පිරිසක් ලබා දෙන ලෙස තිස්සමහාරාම වැසි භික්ෂූන් ගෙන් ඉල්ලා සිටීමේ එක පරමාර්ථයක් වන්නට ඇත්තේ ද තමාට අවශ්‍ය උපදේශයන් ලබා ගැනීමට විය යුතු ය. භාතිකාභය රජු ගෝධගත්ත තිස්ස තෙරුන් කෙරෙහි පැහැද උන්වහන්සේට අධිකරණ විනිශ්චයන් කිරීමට පවා උන් වහන්සේට භාර දුන් බව සමන්තපාසාදිකාවේ සඳහන් වේ. වෛද්‍ය උපදේශ ලබා ගැනීම සඳහා වසභ රජුගේ දේවිය විසින් මහා පදුම තෙරුන් වෙත සේවිකාවන් යැවීම පිළිබඳව පුවතක් ද සමන්තපාසාදිකාවේ දැක් වේ. වෛද්‍ය කටයුතු වලදී ද පාලකයනට මෙන් ම ඔහුගේ සමීපතරයන්ට භික්ෂුවගේ උපදේශය ලැබූ බව මෙයින් පෙනේ.

මෙලෙසින් බුද්ධිමය හා සදාචාරාත්මක නායකත්වයක් ඇති කරලීම සඳහා භික්ෂූන් නිරතුරුව ම සහාය ලබා දුන් බව මෙම තොරතුරු පැහැදිලි වේ. භික්ෂූන් විසින්ගත් ක්‍රියාමාර්ග පාලකය හා ජනතාව අතර සමීප බවක් ගොඩනැඟීමට හිතකර විය. සාමන්‍යය ජනයාගේ සිට පාලක පන්තිය දක්වා වූ සෑම ස්ථරයක ම වෙසෙන ජන කොටසක් සමඟ භික්ෂුව සම්බන්ධ වීම මත භික්ෂූන්ට සමාහය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබිණි. එබැවින් පාලකයාගෙන් ජනතාවට ඉටු විය යුතු යුතුකම් හා අවශ්‍යතා කුමක් ද යන්නත් ජනතාවගේ අපේක්ෂාවන් කුමක් ද යන්නත් වටහා ගනිමින් සමාජ සුබසාධන කාර්යන් නිසි පරිදි ඉටුවන ආකාරයට පාලකයනට උපදේශයන් ලබා දීම නිසා පාලකය කෙරෙහි ජනතා විශ්වාසය වර්ධනය විය. එමෙන් ම සෑම ජන කොට්ඨාසයක් සමඟ ම පවත්නා සමීප ඇසුර නිසා භික්ෂූන්ට සාමන්‍යය ජනතාව රජු පිළිබඳව සිතන පතන ආකාරය පිළිබඳව මනා වැටහීමක් තිබුණි. එම කාරණය නිසා භික්ෂූන්ට රජු සාමාන්‍යය ජනතාවගේ සිත් දිනා ගන්නා ආකාරයට කටයුතු කිරීමට අවශ්‍යය උපදෙස් ලබා දීම පහසු කටයුත්තක් විය. පාලකයා හා පාලිතයා සම්බන්ධ කල එක පුරුකක් ලෙසින් භික්ෂුව බොහෝ අවස්ථාවල ක්‍රියා කල නිසා පාලකයා හා පාලිතයා අතර දුරස්ථ බව නැති වී යාමට මං හෙළි විය. ලාභාපේක්ෂිත බවින් තොරව භික්ෂූන් රජුගේ උපදේශකයන් ලෙසින් ක්‍රියා කිරීම රාජ්‍යයක් තුළින් අපේක්ෂිත කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමටත් ජන කණ්ඩායම් අතර සම්බන්ධතා වර්ධනය කරලීමටත් පාලක පන්තිය අත්තනෝමතිකත්වයෙන් වලකාලීමටත් හේතු විය. විවිධ දේශපාලනික අරමුණු වෙනුවෙන් පාලකයන් නොමඟ යැවීම පුරෝහිතයන් අතින් සිදු වුව ද එවැනි ක්‍රියාමාර්ග භික්ෂූන් තුලින් සිදු වූයේ ඉතාමත් ම අවම ලෙස ය.

  • පාලක පන්තියේ ආචාර්යවරුන් ලෙස භික්ෂුව ගේ භූමිකාව

බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිට වූ තැන් පටන් බුද්ධිමය පාර්ශවය නියෝජනය කළ කණ්ඩායමක් ලෙසින් භික්ෂුව සමාජයට එකතු විය. බුද්ධාගම ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී යාමත් සමඟ ම ධර්ම ශාස්ත්‍ර මෙන් ම ලෝක ශ්‍රාස්ත ඇතුළු අධ්‍යයන කටයුතු භික්ෂූන් අත පවතී බව සිතිය හැක. පුරාතන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ රාජ රාජමහාමාත්‍යාදී අධිපතින් ද සාමන්‍යය ජනතාව ද ශිල්ප ශාස්ත්‍ර හා විනය ලැබුවේ භික්ෂූන් ගෙනි. යුද ශිල්පයට සම්බන්ධ අධ්‍යයන භික්ෂූන් වෙතින් ලැබුණු බවට සිතිය නොහැක. නමුත් ශිල්ප ශාස්ත්‍ර භික්ෂුන් ඇසුරේ හදාරන්නට ඇත.

සාහිත්‍යය මූලාශ්‍රවලට අනුව දේවානම්පියතිස්ස රජුගේ ගුරුවරයා ලෙසට මහින්ද තෙරුන් ක්‍රියා කර ඇත.දුටුගැමුණු හා සද්ධාතිස්ස ආදී රජවරුන්ගේ ගුරුවරුන් ලෙස ද භික්ෂූන් ක්‍රියාකරන්නට ඇතැයි සිතිය හැක. කැලණියේ රාජ්‍යත්වය දැරූ තිස්ස රජු ගේ සහෝදරයෙකු වූ උත්තිය කුමරු ගේ ගුරුවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ කැලණිතිස්ස තෙරුන් බව රසවාහිනිය දක්වයි. එමෙන් ම ධාතුසේන රජු ද කුඩා කාලයේ භික්ෂූන් ඇසුරේ වාසය කර ඇත. ධාතුසේන කුමරු රාජ්‍යත්වයට සුදුසු බව නුවණින් තේරුම් ගෙන රුහුණට ගෙන ගොස් රාජ්‍යත්වය සඳහා අවශ්‍යය දැනුම ලබා දුන්නේ මාතුල මහානාම නමැති ධාතුසේන රජුගේ මාමා වරයකු වන භික්ෂුවක් බව වංශකතා දක්වයි. එමෙන් ම භික්ෂූන් අතින් රජවරු නොමඟ ගිය අවස්ථා ද නැතුවා ම නොවේ. මහසෙන් රජුගේ කුඩා කල ආචාර්ය ධූරය දැරූ සංඝමිත්‍ර නම් තෙරුන් කෙනෙක් සිය පෞද්ගලික අභිමතාර්ථ සාධනය කර ගනු පිණිස මහසෙන් රජු මෙහෙය වූ බව වංශකතාව දක්වයි. පසුව කරුණු අවබෝධ කර ගැනීමෙන් පසුව යහමගට රජු යොමු වූ බව දැක් වේ. නමුත් මෙවැනි එක් සිදුවීමක් හැරුණු කොට වෙනත් මෙවැනි සිදුවීම් ලංකා ඉතිහාසය තුළ දක්නට නොලැබේ. ඒ තුලින් පාලකයන්ගේ ආචාර්යවරුන් ලෙස භික්ෂූන් වටිනා කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනී යයි.

  • පාලකයන් උපද්‍රව වලට ලක් වූ විට සහය වීම

භික්ෂුව පාලක පන්තියේ ආචාර්යවරයකු හා උපදේශකයකු මෙන් ම ආරක්ෂකයකු ලෙසින් ද බොහෝ අවස්ථාවල ක්‍රියා කර ඇත. දේශීය හා විදේශීය සතුරන්ගෙන් පාලකයන් ආරක්ෂා කර ගැනීමට භික්ෂුව ඉදිරිපත් විය. ඉන්දියාවට ආසන්නව පිහිටීම නිසා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ම දකුණු ඉන්දීය ආක්‍රමණ වලට ලක් විය. එම නිසා මෙරට පාලකයන් සතුරන්ට හසු වීමට හෝ පලා යාමට සිදු විය. එවැනි අවස්ථාවල රටේ පාලකයන්ට සහය වූයේ සංඝයා වහන්සේ යි. ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ එලෙස පලා ගිය වළගම්බා රජුට රැකවරණය සපයමින් හා පෝෂණය කරමින් ආරක්ෂාව සලසන ලද්දේ කුප්පික්කුල භික්ෂුව විසිනි. පසුව සේනා සංවිධානය සඳහා අවශ්‍යය ආධාර හා උපදෙස් ද වළගම්බා රජුට ලබා දෙනු ලබන්නේ කුප්පික්කුල තිස්ස තෙරුන් විසිනි. එමෙන් ම වළගම්බා රජු සේනා සංවිධානය කරන සමයේ දී අච්ඡගල්ල විහාරයේ දී ඇති වූ සිද්ධිය පදනම් කරගෙන සෙන්පතියකුගේ හිස ගසා දැමීම හේතුවෙන් රජු අතහැර පලායන සේනාවන් නැවත රජු හා සම්බන්ධ කොට සමගි කරවන ලද්දේ හඹුගල් විහාර වාසි තිස්ස තෙරණුවන් විසිනි. දූෂිත චරිතයකින් හෙබි අනුලා දේවිය ගේ ග්‍රහණයෙන් මිදී පලා යන කූටකණ්ණ තිස්ස කුමරුට රැකවරණය දෙමින් ආරක්ෂා කරන ලද්දේ ද භික්ෂූන් ය. වඩාත් රැකවරණය සපයනු වස් මහණකම පවා ඔහු වෙත ලබා දෙමින් අධ්‍යාපනය ද ලබා දී නිසි කල වයස පැමිණි විට නායකත්වයට පත් වීමට අවශ්‍යය මං හෙළි කර දෙනු ලැබුවේ ද භික්ෂූන් ම ය. මරණයට පත්වීමට නියමිතව තිබූ වසභ කුමරු සිය මාමා වෙතින් පැන ගොස් කලක් ජීවත් ව ඇත්තේ ද මහා විහාරයේ භික්ෂූන් ඇසුරේ ය. ඉහත සඳහන් රජවරුන් හා කුමාරවරුන් සියළුදෙනාගේ ම ජීවිත ඉතාමත් අවදානම් තත්වයකට පත්ව තිබූ බව පැහැදිලි ය. එම අවස්ථා වලදී භික්ෂූන් හැරුණු කොට වෙනත් කෙනෙකු ඔවුන් විෂයෙහි උපකාරයක් කිරීමට තරම් සුදුසු තත්වයක නොවීය. මේ නිසා ම එම භික්ෂූන් විවිධ චෝදනා බාධක මධ්‍යයේ වුව ද එම කුමාරවරුන් ආරක්ෂා කර ඇත. එලෙස භික්ෂූන් ගත් මෙම ක්‍රියාමාර්ග රටේ පාලකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන් ම මෙරට රාජ්‍යත්වයේ ස්ථාවරත්වය උදෙසා භික්ෂූන්ගෙන් ඉටු වූ සුවිශාල සේවයක් ලෙස අර්ථ දැක්විය හැක.

  • රාජ්‍ය නායකයන් පත් කිරීම

දැහැමි නායකයන් රටේ නායකයන් බවට පත්කිරීම සඳහා ද භික්‍ෂුන් පෙරමුණ ගෙන ක්‍රියා කළහ. ඇදහැමි අසත්පුරුෂ පුද්ගලයන් රටේ රජ වුවහොත් රට දැය සමය සංස්‌කෘතිය පරිහානියට පත්වෙයි. ඒ නිසා රට දැය සමයට හිතැති අවංක එඩිතර දැහැමි පුද්ගලයන්ම රටේ නායකත්වයට පත් කළහ. රටේ රජු විය යුත්තේ ජාතියට, රටට බුදු දහමට සහ භික්‍ෂුන්ට ලැදි නායකයන් බව පෙන්වා දුන්හ. පොළොන්නරු යුගයේ ජයබාහු කුමරු රාජ්‍යත්වයට පත්වීමෙන් පසු රටේ යුවරජු බවට භික්‍ෂුන් වහන්සේ විසින් පත් කරන ලද්දේ විජයබාහු කුමරාය. ඔහු පසුව මහරජු වශයෙන් ද පත් කිරීමට ක්‍රියා කළේ ද බෞද්ධ භික්‍ෂුන්ය. 6 වන පරාක්‍රමබාහු රජ දවස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ද රජ මැදුර හා සමීප ආශ්‍රයක් පැවැත්වූ බවත් රටේ දේශපාලනයට යම් කිසි බලපෑමක් කල හැකි යතිවරයෙකු වූ බවත් වාර්තා වල දැක්වේ. උලකුඩය දේවියට පුතෙකු ලැබෙන ලෙස අයදිමින් සැළලිහිණි සංදේශය රචනා කරන ලද්දේ ද රාහුල හිමියන් විසිනි.යාපා පටුන ජයග්‍රහණයෙන් පසුව යාපනයේ විසූ සපුමල් කුමරු සිටියදී 6 පරාක්‍රමබාහු රජුගෙන් පසුව උලකුඩය දේවියගේ පුත් ජයබාහු කුමරු කෝට්ටේ රජ කරවීම සඳහා රාහුල හිමියන්ගේ මැදිහත් වීමක් තිබූ බව පෙනේ. මෙය පසුව දේශපාලන අරගලයකට මුල් පිරීමක් විය. ජයබාහු මරා සපුමල් කුමරු හයවන බුවනෙකබාහු නමින් රාජ්‍යත්වයට පත් විය. ඔහු රාජ්‍යත්වයට පත් වී නොබෝ කලකින් ම ඔහුට එරෙහිව කැරැල්ලක් ඇති විය. පස්දුන් කෝරලයේ කැකුලුන්දොල සිරිවර්ධන පතිරාජයන් හා කූරගම හිමියන් යන ජන ප්‍රධානින් විසින් මෙම මූලිකත්වය ගත් මෙම කැරැල්ල කළු ගඟත් වලවේ ගඟත් අතර මුළු ප්‍රදේශය පුරා ම පැතිර ගිය බව සඳහන් වේ. මේ අවස්ථාවේ බුවනෙකබාහු රජුගේ සොහොයුරු අම්බුළුගල කුමාරයාගේ සහය ඇතිව කැරැල්ල මැඬ පවත්වා කැරලිකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව බුවනෙකබාහු රජු මියයන්නට ප්‍රථම සිංහල සංගාය මෙහෙයවූ කැකුලුන්දොල සිරිවර්ධන පතිරාජයන් හා කූරගම හිමියන් යන දෙදෙනා සිරෙන් නිදහස් කොට තම පුතණුවන් ඔවුන් දෙදෙනාට භාර කල බව සඳහන් වේ. ඔවුන් එම කුමරු පණ්ඩිත පරාක්‍රමබාහු නමින් රජ කරවන ලදී. රාජාවලියට අනුව බුවනෙකබාහු රජු ඇවෑමෙන් පසුව ඔහුගේ පුත් කුමරා රාජ්‍යත්වයට පත් වූ බව ඇසූ අම්බුළුගල කුමාරයා සතර කෝරලයේ හමුදාව රැගෙන කෝට්ටේ වෙතට පැමිණෙන විට පණ්ඩිත පරාක්‍රමබාහු කුමරා වෙනුවෙන් පෙනී සිටී කැකුලුන්දොල සිරිවර්ධන පතිරාජයන් හා කූරගම හිමියන් සමඟ බිහිසුණු සටනක යෙදෙන්නට සිදු විය. ඔවුන් දෙදෙනා පරදවා සටනින් ජයගත් අම්බුළුගල කුමාරයා ජයවර්ධනපුරයට පැමිණ පණ්ඩිත පරාක්‍රමබාහු මරා වීර පරාක්‍රමබාහු නමින් රජ වූ බව රාජාවලිය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව භික්ෂූන් රාජ්‍ය පාලකයන් පත් කිරීමට මැදිහත් වූ ආකාරය පිළිබිඹු වේ.

සතරවැනි පරාක්‍රමබාහු කෝට්‌ටේ රජු බවට පත් කළේ ද භික්‍ෂුන්ගේ මැදිහත් වීමෙනි. මහනුවර යුගයේ දී පළවන විමලධර්මසූරිය රජුට රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා සහය දක්වා ඇත්තේ එවකට සංඝරාජ පදවිය දැරූ දෙවනගල රතනාලංකාර හිමියන් බව රාජාවලිය දක්වයි. ගොන්ගාලේ ගොඩ බණ්ඩා ත්‍රී සිංහලයේ රජු ලෙස අභිෂේක කිරීමට මැදිහත් වූයේ ද භික්ෂූන් ය. එමෙන් ම දුටුගැමුණු, වලගම්බා, සද්ධාතිස්‌ස, ථුල්ලත්ථක, මුගලන් ආදී අනුරාධපුර යුගයේ රජවරු පත් කිරීම සඳහා භික්‍ෂුන් වහන්සේ පෙරමුණ ගෙන ක්‍රියා කළ බව සඳහන් වේ. මෙලෙස ලක්‌දිව රාජ්‍යත්වයට සුවිසල් කාර්යභාරයක්‌ ඉටුකොට ඇති බව මැනවින් ප්‍රකට වේ.

  • පාලකයන් සමගි කරවීම

රාජ්‍ය පාලකයන් අසමගි වූ අවස්‌ථාවලදී ඔවුන් සමගි සම්පන්න කිරීම සඳහා ද භික්‍ෂුන් එකල මැදිහත් වූ බව ද සඳහන් වේ. රජවරු අතර ද රජු සහ යුව රජු අතර ද රජු ඇමැතියන් සමඟ ද රජු ජනතාව සමඟ ද යම් අවස්‌ථාවලදී ආරවුල් හටගෙන ඇත. එම ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත් වූයේ ද භික්‍ෂුන් වහන්සේය. වලගම්බා රජු ඇමැතිවරයකු සමඟ ද, ගැමුණු රජු හා සද්ධාතිස්‌ස යුව රජු අතරද, දෙවන සේන රජු හා මිහිඳු යුවරජු අතර ද ආදී ලෙසින් ගැටුම් ඇති වූ අතර, භික්‍ෂුන් වහන්සේ ඒවා සමථයට පත් කොට ඔවුන් සමඟි කළහ. ඒ තුළින් සිදුවීමට ගිය විපත් වැළැක්‌විණි.

කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසුව රුහුණේ දිගාවැව ප්‍රදේශයේ සිටි සද්ධාතිස්ස කුමරු නීත්‍යානුකූලව ගැමුණු කුමරුට හිමි වීමට තිබූ සිංහාසනය මාගමට අවුත් පැහැර ගැනීම නිසා සිංහාසන අයිතිය නැවත ලබා ගැනීමට ගැමුණු කුමරුට සටනක් දියත් කරන්නට සිදු විය. මෙහිදී සිදු වූ සටනින් මුල දී ගැමුණු කුමරු පරාජයට පත් වූ බව ද ඉන් පසු පවතී සටනින් ගැමුණු කුමරු ජයගත් බවත් තිස්ස කුමරු පලා ගොස් තිස්ස විහාරයේ සැඟවුණු බවත් වංශකතාවේ දැක් වේ. ගැමුණු කුමරුගේ උදහසට ලක්ව සිටි තිස්ස කුමරුන්ට ජීවිත ආරක්ෂාව ලබා දුන්නේ සංඝයා විසිනි. දුටුගැමුණු හා තිස්සගේ ගැටුම පිළිබඳව අදහස් දක්වන ඉතිහාසඥයන්ගේ මතය වන්නේ කාවන්තිස්ස රජු මිය යාමෙන් පසුව ද්‍රවිඩයන් වඩාත් කුමන්ත්‍රණකාරී ලෙස දෙසොහොයුරන් අතර අරගලයක් ඇති කරවාඅනුරාධපුරයට එල්ල වීමට තිබූ මහා සටනක් උපක්‍රමශීලිව පසු බෑමකට ලක් කිරීමට උත්සහ කළ බවයි. ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ මහා යුධ ප්‍රයාණය මෙම අරගලයෙන් වැලකි යාමට ඉඩ තිබුණි. නමුත් සංඝයාගේ මැදිහත් වීම නිසා දෙදෙනා අතර නැවත සමඟිය ඇති වූ බවත් සද්ධාතිස්ස කුමරුට නැවත දිගා වැව ප්‍රදේශයේ පාලනය හිමි වූ බවත් වංසකතාවන්හි දැක් වේ.

වළගම්බා රජු වලස්ගල විහාරයේ ශ්‍රමදාන කටයුත්තකට සහභාගී වී සිටි අවස්ථාවේ සෝපානයේ වාඩි වී සිටි ‘කපිසීස’ නම් ඇමතියා මරා දැමීම හේතුකොට ගෙන අනෙක් ඇමතිවරුන් සත්දෙනා පලාගිය අවස්ථාවේ ‘තිස්ස’ නම් හිමි නමකට ඔවුන් මුණගැසී කුප්පික්කුල හිමියන්ට ඔවුන්ව ඉදිරිපත් කරන ලදුව එහිමියන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු රජු හා සමාදානව යුධ කටයුතු වල නිරත වූ බව ද සඳහන් වේ. මෙලෙස එවකට පැවතී වාතාවරණය තුළ ද රට අරාජික අවස්ථාවක නැවත රාජ්‍යත්වය ස්තාපනයෙහි ලා වැදගත් තීරණාත්මක සටනක් ක්‍රියාත්මක වන මොහොතේ ඇති වූ අරගලයන් විසඳා සමගි සම්පන්න කිරීමට භික්ෂූන්ගේ මැදිහත් වීම අතිශයින් ම වැදගත් විය.

  • පවිටු පාලකයන් නෙරපා හැරීම

අධර්මිෂ්ඨ රාජ්‍ය නායකයන් සිහසුනෙන් නෙරපීම සඳහා ද භික්‍ෂුන් ක්‍රියා කළහ. රට දැය සමය සුරකීමේ වගකීම අමතක කොට තම ආත්ම ලාභය බලකාමය වෙනුවෙන් බුදු දහම අමතක කොට ක්‍රියා කළ රජවරු භික්‍ෂුන්ගේ දෝෂ දර්ශනයට ලක්‌විය. භික්‍ෂුන් මැදිහත් වීමෙන් ඔවුන් රාජ්‍යත්වයෙන් නෙරපා හැරියහ. ඇතැම් අවස්‌ථාවල අගතිගාමී පුද්ගලයන් රජකමට පත් වීම වැළැක්‌වීමට භික්‍ෂුන් ක්‍රියා කළහ. පියා මරා රජවීමට උත්සාහ දැරූ ලඡ්ජිතිස්‌ස කුමරුට එරෙහි වූ භික්‍ෂුහු ඵුල්ලත්තක කුමරාට රජකම පවරා දුන්හ. ධාතුසේන රජු මරා රජ වූ කාශ්‍යප රජුට එරෙහි වූ භික්‍ෂුන් මුගලන් කුමරු රජකමට පත් කළහ. මෙලෙස අදමිටි පාලකයන් සිහසුනෙන් නෙරපා ආගම දහමට හිතැති නායකයන් රජ කරවීමට භික්‍ෂූන් ක්‍රියා කොට ඇත.

  • රජවරුන්ට එරෙහිව විවිධ අරගල ඇති කිරීම

භික්ෂූන් විසින් රජවරුන් රාජ්‍යත්වයෙන් පලවා හැරීම සඳහා විවිධ අරගල ඇති කල බවට සාධක ඉතිහාසය තුළ හමු වේ. පෙර සඳහන් කල පරිදි හයවන බුවනෙකබාහු හිමියන්ට එරෙහිව භික්ෂූන් වහන්සේලා මැදිහත්ව අරගලයන් දියත් කොට ඇත. එලෙස ම මහනුවර යුගයේ දී රාජ්‍යත්වයට පත් වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මරා දමා ඒ වෙනුවට සියම් කුමාරයෙක් පත් කිරීමට භික්ෂූන් ප්‍රමුඛව ප්‍රභූවරුන් එවකට උත්සහ දරා ඇත. එවකට සංඝරාජ හිමියන් හා මල්වතු නායක හිමියන් ද මේ පිළිබඳව දැන සිටින්නට ඇති බව සිතිය හැක. මල්වතු විහාරයේ ආගමික උත්සවයකට පැමිණි රජුට වාඩි වීම සඳහා පිළියෙළ කල සිංහාසනය යට බොරු වලක් කපවා රජු මරා දැමීමට දෙවන අදිකාරම් වූ සමනක්කොඩි, රජු ගේ මුළුතැන්ගෙයි ප්‍රධානියා වූ මොලදන්ඩේ රාල, සහ එම ප්‍රභූන්ට ඥාති සබන්ධතා තිබූ භික්ෂුන් කටයුතු කර ඇත. කුමන්ත්‍රණය හෙළිවීමෙන් සමනක්කොඩි  ඇතුළු කුමන්ත්‍රණකරුවන් මරා දමක ලද අතර කුමන්ත්‍රණයට හවුල් වූ භික්ෂූන් පිටුවහල් කිරීම සඳහා ලන්දේසීන්ට බාර දී ඇත. කීර්ති රාජසිංහ රජුගේ බලය ඉතා අස්ථාවර මට්ටමක එව්කාට තිබූ බවත් රජුට විරුද්ධව බොහෝ භික්ෂූන් කටයුතු කල බවත් මෙයින් පැහැදිලි වේ.

– බී.එම්. රුමල් වින්දුල බණ්ඩාර-

දහම් පා ආචාර්ය

(පුරාවිද්‍යා අධ්‍යයන අංශය

කැලණිය විශ්ව විද්‍යාලය)

ආශ්‍රේය ග්‍රන්ථ

  1. කහඳවආරච්චි, චන්ද්‍රදාස,  2004,  ලංකා ඉතිහාස ප්‍රදීපය,  ආරිය ප්‍රකාශකයෝ
  2. ධීරානන්ද හිමි,  හඟුරන්කෙත,  2004,  රාජ්‍යත්වය,රාජ්‍ය සහ ආගම,  ආරිය ප්‍රකාශකයෝ
  3. ධීරානන්ද හිමි,  හඟුරන්කෙත,  2005,  පුරාතන ශ්‍රී ලාංකේය සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම,  ආරිය ප්‍රකාශකයෝ
  4. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමුවන කොටස අනුරාධපුර යුගය,  2016,  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
  5. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙවන කොටස පොළොන්නරු යුගය – කෝට්ටේ යුගය,  2007,  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
  6. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුන්වන කොටස,  2007,  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

Leave a Reply