ආරම්භයේ සිට මහසෙන් රජුගේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය අධ්‍යනයේදී එම අධ්‍යනය ක්‍රි.පූ. 6 වන සියවස දක්වා දිව යයි. ක්‍රි.පූ.6 සියවසේදී මෙරටට ඉන්දියාවේ සිට පැමිණි විජය විසින් ජනාවාස පිහිටුවීම තුළින් මෙරට සම්ප්‍රදායික ඉතිහාසය ආරම්භ වෙයි.එතැන් සිට ක්‍රි.පූ. 437 දී පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර රාජධානිය පිහිටුවා එහි රාජ්‍යත්වයට පත්වන තෙක් ම විජය හා විජයගෙන් පැවතෙන අයවලුන් විසින් මෙරට කුඩා ජනාවාස තනාගෙන පාලනය කරන ලදී.නමුත් මෙරට රාජධානි බිහිවෙමින් විධිමත් වූ රාජ්‍ය පාලනයකට හා දේශපාලනයකට මුල්ගල තබන්නේ පණ්ඩුකාභය රජු විසිනි. එමඟින් ඇරඹෙන අනුරාධපුර රාජධානිය ක්‍රි.ව.1017 දී එල්ල වූ සොලී ආක්‍රමණ වලින් බිඳ වැටෙන තෙක් ම ශක්තිමත් ව සියවස් 15 කට ආසන්න කාලයක් රජවරු 100 කට අධික ප්‍රමාණයක් යටතේ පාලනය විය.

Prasanna-Weerakkody-3-640x400

මෙහිදී අධ්‍යනයට බඳුන් වන්නේ ශ්‍රී ලංකාවේ ආරම්භයේ සිට මහසෙන් රජුගේ රාජ්‍යත්වයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයයි. එනම් ක්‍රි.පූ.543 පමණ සිට ක්‍රි.ව.302 දක්වා වූ කාලපරාසය යි. මෙම කාල සීමාව විටක සාමයෙන් හා සමෘද්ධියෙන් පිරුණු අතර විටක අරාජික හා විදෙස් ආක්‍රමණයන්ට ලක් වූ අවස්ථාවන් ද තිබිණ. දකුණු ඉන්දීය ආක්‍රමණ වලට නිරතුරුවම මුහුණ දීමට ලංකාවට සිදු විය. එලෙස ආක්‍රමණ වලට ලක් වූ අවස්ථා කිහිපයක් ම මෙම කාල සීමාවේ දක්නට ලැබේ. මෙම සාකච්ඡාවට බඳුන් වන කාල සීමාව තුළ සේන ගුත්තික ආක්‍රමණය, එළාර ආක්‍රමණය, සත් ද්‍රවිඩ ආක්‍රමණය, ආදී ආක්‍රමණ කිහිපයක් ද දක්නට ලැබේ. එමෙන් ම මෙම කාල සීමාව රජවරුන් මෙන් ම රැජිනියන් විසින් ද ශ්‍රී ලංකාවේ පාලනය ගෙන යන අයුරු දැක ගත හැක.

සමස්තයක් ලෙස මෙම කාල සීමාව අධ්‍යනය කිරීමේදී උපයෝගී කොට ගත හැකි මූලාශ්‍ර කිහිපයකි. අතර වංසකතා හා අභිලේඛන ප්‍රධාන වේ. එම ග්‍රන්ථ අතර දීපවංසය, මහාවංසය, ධාතුවංසය, රසවාහිනිය, පූජාවලිය වැනි ග්‍රන්ථ හා සෙල්ලිපි, සන්නස් ආදිය ද වැදගත් වේ. සාහිත්‍යය මූලාශ්‍ර මඟින් දක්වන කරුණු සාධක සහිතව සනාථ කිරීමෙහි ලා අභිලේඛන උපකාරී වේ. මෙහි දැක්වෙන රජවරුන්ගේ හා නගර ආදියෙහි නම් මෙන් ම දක්වන කාලවකවානු මහාවංසයට අනුකූලව යොදාගෙන ඇත.

 

 

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳව අධ්‍යනයේදී වංසකතා වල දැක්වෙන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවේ පාරම්පරික හෙවත් සාම්ප්‍රදායික ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු ඇතුළු මෙරටට සපැමිණිමත් සමඟය. විජයාවතරණයේ සිට ආරම්භ වන ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ගොඩනැගීම හා ව්‍යාප්තිය එකවර සිදු වූවක් නොවූ අතර එය අවස්ථා ගණනාවක්, පියවරින් පියවර, අදියරෙන් අදියර සිදු වූවකි. එසේ ජනාවාස බිහි කල ආර්ය කණ්ඩායම් වරින් වර ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ පිරිස් බව පැහැදිලි ය.

ඒ අනුව මෙරට රාජාවලියේ ආරම්භකයා ලෙස විජය රජු සලකනු ලබයි.ඔහු දඹදිව ලාට රට සිංහබාහු රජුගේ පුත්‍රයෙකු ලෙස සැලකේ.මොහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අහම්බයකිනි. කෙසේ නමුදු මොහු ලංකාවට පැමිණි වර්ෂය ලෙස මහාවංශය දක්වන්නේ ක්‍රි.පූ. 543 දී එනම් බුදුන් වහන්සේ පිරිනිවනට පත් වූ දින බවයි. දැනට පිළිගන්න මතය අනුව මොහු බටහිර වෙරළේ පුත්තලම අසල තම්මැන්නාවට 700ක් පිරිස සමඟ ගොඩ බැස ඇත. වංසකතාකරුවා දක්වන ආකාරයට මොහු ලංකාවේ සිටි යක්ෂ ගෝත්‍රික පරපුරකට අයත් කුවේණිය නම් යක්ෂනියක් සමඟ මිත්‍ර වී යක්ෂ රාජවංශය සමූලඝාතනය කුවේණිය තම භාර්යාව බවට පත්කර තම්මැන්නාව මුල් කරගෙන රාජ්‍යක් ආරම්භ කල බවයි. විජය කුමරු යක්ෂ නායකයන් ඝාතනය කළ ද පසු කාලීනව හෝ ස්වදේශීය කණ්ඩයම් හා ආර්ය කණ්ඩායම් අතර අර්බුද ඇති නොවීම තුළ මෙම සිදු වීම්නේ පසුව දෙපාර්ශවය අතර සහජීවනයක් ගොඩනැඟුණු බව ඉඟි කරයි. විජය රජු සමඟ පැමිණි අනෙකුත් පිරිසට ඇමති පදවි ප්‍රධානය කරනු ලැබූ බව දැක්වේ. ඒ අනුව ඒ ඒ ඇමතියන් විසින් තමන්ගේ නමින් කුඩා කුඩා ජනපද ඇති කර ඇත.අනුරාධ ඇමතියා විසින් “අනුරාධග්‍රාමය” ද, උපතිස්ස ඇමතියා විසින් “උපතිස්සග්‍රාමය” ද, ආරම්භ කර ඇත. තවද උදේනි, උරුවෙල, විජිත ආදී වූ ඇමතිවරු තමන්ගේ නම් වලින් උදේනිගාම, උරුවෙලගාම, විජිතගාම, ආදී ලෙස ගම්මාන ඉදි කර ඇත.

මෙලෙස රාජ්‍යත්වය ගෙන යන අතරතුර රජකුල කුමරියක නොමැතිව රාජ්‍ය අභිෂේකයකින් තොරව රාජ්‍ය උරුමය තහවුරු නොවන බැවින් විජය රජු මධුරාපුර පඬි රජු වෙත දූතයන් යවා ඔහුගේ දුවණිය ගෙන්වාගෙන ඇයව සරණ පාවාගෙන ඇත. එමඟින් විජය රජු නීත්‍යානුකූලව මෙරට රජු බවට පත්විය. මධුරාපුර කුමරිය විවාහ කරගැනීමෙන් අනතුරුව පෙර බිසව වූ කුවේණිය විජය රජු විසින් පලවා හැරි බවත් අවසාන ය සිය ඥාතීන් අතින් මියගිය බවත් වංසකතාකරුවා දක්වයි.

විජය රජුට දරුවන් නොසිටි බැවින් ඔහුගේ අවසාන කාලසීමාවේ විජයගෙන් පසුව රාජ්‍යත්වය සඳහා ඔහුගේ සොහොයුරු සුමිත්‍ර කුමරු එවන ලෙස මව්රටට හසුන් යවන ලද අතර ඒ වනවිට විජය රජුගේ පියා මියගොස් සුමිත්‍ර කුමරු රාජ්‍යත්වයට පත්ව සිටි බැවින් සුමිත්‍ර කුමරුගේ පුතණුවන් වූ පණ්ඩුවාසදේව කුමරු සහපිරිවරින්  රාජ්‍යත්වය සඳහා පිටත් කර එවන ලදී. ඔහුගේ සම්ප්‍රාප්තිය වනතෙක් වසරක කාලයක් උපතිස්ස ඇමති තම්මැන්නාවේ රාජ්‍ය විචාරන ලදී. විජය රජු තිස් අට වසරක් රාජ්‍ය විචාරා කලුරිය කරන ලදී.

වංසකතාවට අනුව පණ්ඩුවාසදේව රජු රජු මෙරටට පැමිණ ඇත්තේ ක්‍රි.පූ.504 දී පමණ ය.ඔහුත් අභිෂේකය නොලබා ම රාජ්‍යත්වයට පත් වූ අතර පසුව විජය රජු අනුව යමින් උතුරු ඉන්දියාවෙන් ක්ෂත්‍රිය කුමරියක් ගෙන්වා ගෙන විවාහ කරගන්නා ලදී. පඬුවස්දෙව් රජු 30 වසරක් රාජ්‍ය විචාරා ක්‍රි.පූ.474 දී කාලක්‍රියා කරන ලදී. ඔහුගේ අභාවයෙන් පසුව පඬුවස් රජුගේ වැඩිමහළු පුත් අභය රජු විසි වසරක් රාජ්‍ය විචාරන ලදී. අභය රජු හා ඉන් පසුව රාජ්‍යත්වයට පත් වූ පණ්ඩුකාභය රජු අතර වසර 17ක කාලයක් අරාජිකව ගත විය.

පණ්ඩුවාසදේව රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රාවට හා දීඝ ගාමිණි කුමරුට දාව උපන් පණ්ඩුකාභය කුමරු ක්‍රි.පූ.437 දී ලක්දිව රාජ්‍යත්වයට පත්විය. මෙතුමාගේ රාජ්‍යත්වයට පත්වීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාවංශය සපයයි. වංසකතාවේ සඳහන් වන ආකාරයට තම මාමාවරුන් සත්දෙනෙකු සමඟ යුද වැදී අවසන මෙතුමා රාජ්‍යත්වයට පත් වූ බවයි. අවසානයේ අනුරාධ ග්‍රාමය අගනුවර කරගනිමින් පණ්ඩුකාභය රජු රාජ්‍යත්වයට පත්විය. මෙතුමා අනුරාධපුරය අනුරාධග්‍රාමය බවට පත් කරන ලදී. අනුරාධපුර රාජධානියේ ආරම්භක පාලකය වන්නේ පණ්ඩුකාභය රජු ය. මොහු විසින් දසවන රාජ්‍ය වර්ෂයේ මුළු ලක්දිවහි ම ග්‍රාම සීමා නියම කල බව වංශකතා වල සඳහන්ව ඇත. නමුත් එය ඒ ආකාරයෙන් ම පිළිගත නොහැක. නමුත් මේ වන විට ඔහු යටතේ ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ විශාල ප්‍රදේශයක් හා රුහුණු රටෙහි ඇතැම් කොටස් පාලන බලයට ගෙන තිබෙන්නට ඇතැයි සිතිය හැක. මෙරට සංවිධානාත්මක පාලන තන්ත්‍රයක් ඇති කලේ මෙතුමා විසිනි. මෙතුමා වසර 70ක් රාජ්‍ය කල බව සඳහන් වේ.

පණ්ඩුකාභය රජුගේ අවෑමෙන් පසුව එතුමාගේ පුත් මුටසිව කුමරු රාජ්‍යත්වයට පත් විය.එතුමා වසර 60ක් රාජ්‍ය පාලනය කල බව සඳහන් වේ.මුටසිව රජුගේ අභාවයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ පුත් තිස්ස කුමරු ය.මෙතුමාගේ රාජ්‍ය කාලයේ සුවිශේෂත්වයට කාරණා කිහිපයක් හේතු වේ.

  • මෙතුමාගේ කාලයේ සිට පමණක් පිළිගත හැකි කාලනිර්ණ ක්‍රමයක් ඉදිරිපත් කළ හැකි වීම.
  • ඉන්දියානු අධිරාජ්‍යය සමඟ දැඩි හා සුහද විදේශ සම්බන්ධතාවක් තිබීම.
  • ඒ තුළින් බුද්ධාගම ප්‍රමුඛව තවත් දායාද රාශියක් හිමි වීම.
  • ඉන්දියානු මෞර්ය සම්ප්‍රදායට අනුව රාජ්‍යභිෂේකය පැවත් වීම මෙතුමාගෙන් පසුව ආරම්භ වීම.

මෙතුමාගේ රාජ පදවි ප්‍රාප්තිය ක්‍රි.පූ. 250 දී සිදු වූ බව සඳහන් වේ. ඉන්දියාවේ එවකට අධිරාජයා වූ අශෝක රජු සමඟ තිබූ දැඩි මිත්‍රත්වය මත “දෙවනපිය” යන විරුද නාමය ද මෙතුමාට හිමි විය.ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ රුහුණු රට, මලය රට හා උතුරේ තවත් විශාල ප්‍රදේශ කිහිපයක් එක් රජකුගේ ආධිපත්‍යට යටත් වූයේ මෙම කාල සීමාවේදී ය. අවුරුදු 40ක පමන කාලයක් රාජ්‍ය කල මෙතුමා ක්‍රි.පූ.210 දී පමණ මිය යෑමෙන් පසුව ඔහුගේ බාල සොහොයුරෙකු වූ උත්තිය කුමරු අනුරාධපුරයේ රජ විය. මොහු වසර 10ක් රාජ්‍ය කල අතර මොහුගෙන් පසුව ඔහුගේ බාල සොහොයුරන් වූ මහාසිව, සූරතිස්ස, හා අසේල යන ඔහුගේ බාල සොහොයුරන් තිදෙනෙකු පිලිවෙලින් බලයට පත් වී දස අවුරුද්ද බැගින් රාජ්‍ය කර වූ බව මහාවංසය දක්වයි. සූරතිස්ස රජුගේ කාලයේ දී සේන හා ගුත්තික නම් වූ දෙදෙනෙකු ඔහුගෙන් රාජ්‍ය පැහැරගෙන වසර 22ක් රාජ්‍ය කර වූ බව සඳහන් වේ. මොවුන් දෙදෙනා ඉන්දියාවේ සිට පැමිණි අශ්ව වෙළඳුන් දෙදෙනෙකු ලෙස ද, සූරතිස්ස රජුගේ ම සෙන්පතියකු බවට ද මත පල කෙරේ. කෙසේ නමුදු ප්‍රථම වරට ආක්‍රමණයක් හෝ රාජ්‍ය බලය පැහැර ගැනීමක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉතිහාසයේ සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැක.

සූරතිස්ස රජුගේ අභාවයෙන් පසුව සේන හා ගුත්තික පරාජයට පත් කරමින් අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ සොහොයුරු අසේල කුමරු ය. අසේල රජුගේ රාජ්‍යත්වයෙන් දස වන වර්ෂයේ මෙරට එල්ල වූ ප්‍රථම දැඩි ද්‍රවිඩ ආක්‍රමණය එල්ල විය. ඒ එළාර රජුගේ ආක්‍රමණය යි.එළාර රජු අසේල රජුව මරවා වසර 44ක් මෙරට පාලනය කළ බව මහාවංශය දක්වයි. මහාවංසය මෙතුමා දැඩි ආගම් විරෝධියකු ලෙස හුවා නොදක්වන අතර සහනශීලී පාලකයකු ලෙස දක්වයි.

අනුරාධපුරය එළාර යටතේ තිබුණු අවස්ථාවේ මෙරට පාලන බලය සම්පූර්ණයෙන් ගිලිහි නොයෑම සුවිශේෂී කාරණයකි. එළාර රජු අනුරාධපුරය අල්වා ගත විට සිංහල පාලන බලය හා එළාරට එරෙහි සටනට සෙන සංවිධානය මාගම රාජධානිය ආශ්‍රිතව සිදු විය. මෙරට රුහුණු රජ පෙළපතේ විකාශනය හෙළි වන වැදගත් ම අවස්ථාව මෙය වේ. මාගම රජ පෙළපත ආරම්භ වූයේ දේවානම්පියතිස්ස රාජ සමයේදී ඔහුගේ සොහොයුරෙකු වූ මහානාග යුව රජු ගේ මූලිකත්වයෙනි. මහානාග රජුගෙන් පසුව ඔහුගේ පුත් යටාල තිස්ස කුමරු ද අනතුරුව ඔහුගේ ඇවෑමෙන් ගෝඨාභය කුමරු ද අවසන එළාර ගේ පාලන සමය වන විට කාවන්තිස්ස රජු ද මාගම පාලන බලය ගෙන යන ලදී. මෙවැනි රාජවංශයක් බිහි වීම හා මාගම ආශ්‍රිතව රාජධානියක් බිහි වීම පසු කාලීනව 1815 ශ්‍රී ලංකාව මුළුමනින් ම  ඉංග්‍රීසින්ට යටත් වන තුරු රාජ්‍ය බලය සම්පූර්ණයෙන් කිසිඳු ආකාරයකට ආක්‍රමණිකයෙකුට හිමි නොවීමට හා ආක්‍රමණයක් එල්ල වූ සෑම අවස්ථාවකදී ම සේනා සංවිධානය කොට උතුරේ ආක්‍රමණිකයන් පලවා හැරීමට ද එය ඉවහල් විය. එමෙන් ම කැළණිය ආශ්‍රිතව ද මෙම කාලය වන විට රාජධානියක් පවතී බව මහාවංස තොරතුරු වලට අනුව හෙළි වේ.

කාවන්තිස්ස රජු මාගම රාජ්‍යත්වයට පත්ව වසරක කාලයක් යන විට අනුරාධපුරය එළාර යටතට පත් විය. රුහුණේ මාගම රාජධානියට අයත් සෝමනුවර, සේරු නුවර, හා ලෝණ නුවර යන ප්‍රදේශ පිළිවෙලින් අභය, සිව, හා මහානාග යන පාලකයන් තිදෙනා යටතේ පාලනය වූ බව ධාතුවංසය දක්වයි. කාවන්තිස්ස රජු එළාරගෙන් රුහුණට එල්ල විය හැකි ආක්‍රමණයන්ගෙන් බේරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන ලදී. මහාවංසයේ දක්වන ආකාරයට හමුදාව සංවිධානය කිරීම, ඔවුන් ලවා උතුරේ දේශ සීමා ආරක්ෂා කිරීම, බාලපුතු වූ සද්ධාතිස්ස කුමරු දිගාමඬුල්ල ප්‍රදේශයට යැවීම හා අන් බිසවකගේ පුතු වූ දීඝාභය කුමරු කසාතොට ආරක්ෂක සංවිධාන සැලසීමට යවන ලදී. මීට අමතරව ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ද රජු විසින් ඇති කළ බව රසවාහිනිය දක්වයි. කාවන්තිස්ස රජුගේ පාලන කාලය අවුරුදු 45කි. ඔහුගේ 64 වන වියේදී කාවන්තිස්ස රජු අභාවප්‍රාප්ත වූ බව මහාවංසය දක්වයි.

කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් අනතුරුව ඔහුගේ වැඩිමහලු පුත් වූ දුටුගැමුණු කුමරු රාජ්‍යත්වයට පත් විය. මහාවංසයේ වීරයා ද වූ මෙතුමා සද්ධාතිස්ස කුමරු සමඟ සිදු කරන ලද සුළු අරගලයකින් අනතුරුව මාගම බලයට පත්වන ලදී. අනතුරුව මෙතුමා විසින් එළාරගේ පාලනයෙන් ලක්දිව මුදවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදී. අනුරාධපුරය දක්වා වූ බලකොටු සියල්ල යටත් කරගනිමින් ජයග්‍රාහි විලාශයෙන් අනුරාධපුරයට ලඟා විය. මෙම කාලය තුළ දරුණු ගැටුම් දෙපාර්ශවය අතර ඇති වූ බව වංශකතාකරුවා දක්වයි. විජිතපුර බලකොටුව ජය ගැනීම සඳහා මාස 4ක් කාලයක් සටන් කිරීමට සිදු වූ බව සඳහන් වේ. අනුරාධපුරය යටත් කරගැනීම සඳහා වූ අවසාන සටනේ දී එළාර රජු හා දුටුගැමුණු රජු අතර ද්වන්ධ සටනක් ඇති වූ බව මහාවංසය දක්වයි. එම සටනින් එළාර රජු පරාජයට පත් වූ බව දැක්වේ. එළාර රජු පරාජය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජුට තවත් යුද්ධයක් කිරීමට සිදු විය. එනම් එළාරගේ මරණයට පෙර එළාරගේ ප්‍රධාන සෙනෙවියා වූ දීඝජන්තු ගේ බෑනා වූ භල්ලුක වෙත යැවූ යුධ ආධාර සඳහා වූ ඉල්ලීමට අනුව ඔහු ලංකාවට පැමිණීමයි. ඔහුව අපහසුවකින් තොරව පරාජයට පත් කිරීමට දුටුගැමුණු රජු ට හැකි විය.සියලු යුද ක්‍රියාදාමයන්ගෙන් අනතුරුව රටේ පරිපාලනය සඳහා අවශ්‍ය නිලධාරින් පත්කොට යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍යය අධිකරණ ශාලා සහ විනිශ්චයකරුවන් ද පත් කරන ලදී. රුහුණේ පාලකයා ලෙස මලණුවන් වූ සද්ධාතිස්ස කුමරු ද බටහිර ප්‍රදේශයේ පාලකයා ලෙස සාලිය කුමරු ද පත් කරන ලදී. මහාවංසය මෙය තනතුරු සංවිධානය ලෙස දක්වා ඇත. දුටුගැමුණු රකතුමාගේ දේශපාලන කාර්ය සංසිද්ධිය අනෙකුත් සියලුම කාරණා වලට වඩා වැදගත් කොට සැලකිය හැක. අද සියවසකට ආසන්න කාලයක් විදේශික රජකුට යටත්ව තිබූ අනුරාධපුරය එයින් මුදවාගෙන ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම එම කාර්ය සංසිද්ධියයි. ඒ අනුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මුළුමනින් ම එක්සේසත් කල පාලකය ලෙස දුටුගැමුණු රජුව හැඳින්විය හැක.

දුටුගැමුණු රජු වසර 24ක් වූ රාජ්‍ය කාලය අවසන් කරමින් කලුරිය කරන ලදී. ඉන් පසු එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු රාජ්‍යත්වයට පත් වූ අතර ඉන් පසුව රාජ්‍යත්වය හිමි කරගැනීමට සුළු අරගලයක් ද සිදු විය. සද්ධාතිස්ස රජුගේ මරණයෙන් අනතුරුව වැඩිමහල් පුතු වූ ලඤ්ජිතිස්ස කුමරුට සිහසුන හිමි විය යුතු නමුදු ඊට පෙර ථූලත්තන කුමරුට බලය හිමි වීම නිසා ථූලත්තන ගේ රාජ්‍යත්වයෙන් 40 වන දිනයේදී ඔහුව මරා ලඤ්ජිතිස්ස කුමරු සිංහාසනය ලබා ගත බව වංසකතාවේ සඳහන් වේ. ඉන් පසුව ලඤ්ජිතිස්ස රජුගේ සොහොයුරු වූ ඛල්ලාටනාග කුමරු රාජ්‍යත්වයට පත් විය. මෙම රජු රාජ්‍යත්වයට පත්ව වැඩි කාලයක් යාමට මත්තෙන් ම මහාරත්තක නමැති සෙනෙවි කෙනෙක් කුමන්ත්‍රණයක් මෙහෙයවා ඛල්ලාටනාග රජු ඝාතනය කර රාජ්‍ය බලය පහර ගන්න ලදී. ඉන් පසුව ඛල්ලාටනාග රජුගේ බාල සොහොයුරු වූ වළගම්බා කුමරු විසින් මහරත්තක සෙනෙවියා මරා රාජ්‍යත්වය හිමි කරගන්න ලදී.

වට්ටගාමිණි අභය හෙවත් වළගම්බා රජු ක්‍රි.පූ. 103 දී රාජ්‍යත්වයට පත්ව ඇත. එහෙත් ඔහුගේ රාජ්‍ය කාලය එතරම් සාමකාමී නොවීය. ඔහුගේ රාජ්‍යත්වයෙන් මාස 5ක් පමණ ගතවූ කාලයේ රුහුණේ නකුල නගරය නම් ප්‍රදේශයක විසු තිස්ස හෙවත් තීය නම් බමුණකු රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කරන ලදී. එම දිනවල ම දකුණු ඉන්දියානුවන් හත්දෙනෙකුගේ නායකත්වයෙන් මෙහි ගොඩබට යුධ හමුදාවක් අනුරාධපුර රාජධානිය අක්‍රමණය කළ බව මහාවංසයේ දැක් වේ. මේ නිසා රජුට අනුරාධපුරය අතහැර ආරක්ෂාව සඳහා මලය දේශයට පලා යාමට සිදු විය. දකුණු ආක්‍රමණිකයන් අතරින් එක් අයකු සෝම දේවිය ද තවත් අයකු පාත්‍රා ධාතුව ද රැගෙන නැවත ඉන්දියාව බලා ගිය බව සඳහන් වේ. ඉතිරි ද්‍රවිඩ නායකයන් වූ පනයමාර, පිලයමාර, භාහිය, පුලහත්ථ, දාඨිය යන ද්‍රවිඩයන් පස් දෙන ඔවුනොවුන් මරාගනිමින් වසර 14ක් අනුරාධපුරයේ රජ කල බව සඳහන් වේ. අවසාන ද්‍රවිඩ නායකයා වූ දාඨිය පරාජය කරමින් වළගම්බා රජු රාජ්‍යත්වය ලබා ගන්න ලදී. මෙතුමා ද දුටු ගැමුණු රජුට නොදෙවෙනි ආකාරයේ සේවයක් සිදු කරන ලදී. 14 වසරක ද්‍රවිඩ පාලනය අතුගා දමමින් බැමිණිටියා සෑය වැනි දුෂ්කර අවස්ථා වලට මුහුණ දෙමින් රාජ්‍ය පාලනය කරන ලදී.

වළගම්බා රජුගෙන් අනතුරුව ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඛල්ලාටනාග රජුගේ පුත් මහචූලි මහා තිස්ස රාජ්‍යත්වයට පත් විය.ඔහුගේ ඇවෑමෙන් වළගම්බා රජුගේ පුත්‍රයෙකු වූ චෝර නාග රජු රජ විය. ඔහුගේ අවෑමෙන් ඔහු පුත් තිස්ස රාජ්‍යත්වයට පත් විය. තිස්ස කුමරු රජ වී අවුරුදු 3ක් රාජ්‍ය කොට චෝරනාග රජුගේ බිසවක් වූ අනුලා දේවිය විසින් වස දී මරා දැමු බවත් පසුව ඇය සිව, වටුක, දාරුභාතික තිස්ස, හා නිලිය නම් වූවන් පිලිවෙලින් රජ කර ඔවුන් සියල්ල ම මර දමා අවසන රාජ්‍යත්වය ය යටතට ගත බව මහාවංශයේ සඳහන් වේ. කාන්තවක් සිහසුනට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්වේ. එයින් පසුව මහචූලි මහා තිස්ස රජුගේ දෙවන පුත්‍රයා වූ කුටකන්න තිස්ස කුමරු ඇය මරවා රාජ්‍යත්වයට පත් විය. ඉන් පසු පිළිවෙලින් භාතික තිස්ස – භාතික අභය රජු, මහා දාඨික මහා නාග රජු, ආමන්ඩ ගාමිණි අභය රජු හා කණිරජානු තිස්ස රජු බලයට පත් විය. කනිරජානුතිස්ස රජුගේ කාලයේ නැවත දේශපාලනික වශයෙන් ව්‍යාකූල තත්වයක් ඇති විය. ඇති වූ තත්වයෙන් අවසානයේ සිදු වූයේ පණ්ඩුකාභය රජුගෙන් ඇරඹුණු මෞර්ය රාජ වංශය බිඳවැටී ලම්භකර්ණ රාජවංශිකයන් හට බලය ලැබීමයි. ඒ අනුව වසභ රජු ලම්භකර්ණ වංශයේ ප්‍රථමයා ලෙස රාජ්‍යත්වයට පත් විය.

වසභ රජු රාජ්‍යත්වයට පත්වන්නේ ක්‍රි.ව.65 දී පමණ ය. මෙම රජුගේ කාලයට අයත් සෙල්ලිපි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් නොව උතුරේ යාපන අර්ධද්වීපයෙන් ද දකුණේ සිතුල්පව්වෙන් හා තිස්සමහාරාමය ආදී තැන්වලින් ද නැගෙනහිරින් මඩකලපු දිස්ත්‍රික්කයෙන් ද බටහිරින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද  පවා හමු වීම නිසා නිසා මොහුගේ ආධිපත්‍යය මුළු දිවයින පුරාම පැතිර තිබූ බව පැහැදිලි ය. මේ රජුගෙන් ඇරඹුණු රාජවංසය අවුරුදු 370ක් පමණ කාලයක් පැවතිණි. එම යුගය දේශපාලනික වශයෙන් සංවර්ධනය වූ කාල පරිච්ඡේදයකි. අභ්‍යන්තර දේශාපාලන ගැටුම් ඇතිවුව ද විදේශ බලපෑම් කිසිවක් ඇති නොවීය. වසභ රජුගෙන් ඇරඹුණු ලම්භකර්ණ රාජවංශයෙන් ඉටු වූ ප්‍රධාන කාර්ය ලෙස රජරට රාජ්‍යයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ උතුරු හා දකුණු ප්‍රදේශ ද ඇතුළු ව මුළු දිවයින පුරා ම පවත්වා ගනිමින් රටේ සාමය ඇති කිරීම හා විදේශීය ආක්‍රමණ වළක්වාලීම, මනා පාලන තන්ත්‍රයක් ඇති කිරීම ආදිය ලෙස දැක්විය හැක.

වසභ රජුගෙන් අනතුරුව ඔහුගේ පුත් වංකනාසික තිස්ස කුමරු බලයට පත් විය. ඔහුගේ පුත්‍රයකු වූ පළමු ගජබා රජු ඉන් පසු බලයට පත් විය.ගජබා රජුගෙන් පසු ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ මහල්ලක නාග කුමරු රජ විය.ඔහුගේ අවෑමෙන් පුත්‍රයන් දෙදෙනෙකු වූ භාතික තිස්ස හා කනිට්ඨ තිස්ස පිළිවෙලින් රජ විය. මෙම කාලය තුළ අවුරුදු අසූවක් පමණ කාලයක් කිසිඳු වියවුලකින් තොරව පවතින ලදී. නමුත් කනිට්ඨ තිස්ස රජුගෙන් පසුව රජ වූ ඔහු පුත් ඛුජ්ජනාග රජු මරා ඔහුගේ සොහොයුරු කුංචනාග කුමරු බලයට පත් වීමත් පසුව ඔහුව ද මරා දමා භාතික තිස්ස රජුගේ පුත්‍රයකු වූ සිරිනාග සිංහාසනය පහර ගන්න ලදී. පළමු සිරිනාග රජුගෙන් පසුව ඔහු පුත් වෝහාරිකතිස්ස කුමරු ද ඔහුව මරා ඔහුගේ සොහොයුරෙකු වූ අභය නාග කුමරු ද ඔහුගේ ඇවෑමෙන් වෝහාරික තිස්ස රජුගේ පුත්‍රයකු වූ දෙවන සිරිනාග ද රජ විය. සිර්නාගගේ ඔහුගේ පුත් විජයිඳු එක් වසරක් පමණක් රාජ්‍ය කරන ලදී. ඔහුව මරා රුහුණේ මහියංගනයේ සිට පැමිණි සංඝතිස්ස, සංඝබෝධි, හා ගෝඨාභය යන අයවලුන් රාජ්‍යත්වයට පත් විය. ගෝඨාභය දෙවන සිරිනාග රජුගේ පුත්‍රයකු ලෙස සැලකේ. අනෙකුත් දෙදෙනා අනුරාධපුර රජ පවුලට ඥාති සම්බන්ධයක් ඇති අයවලුන් ලෙස සැලකේ. සංඝතිස්ස රජු වසර හතරක් රජකම් කර වස කැවී මියගිය හෙයින් සංඝබෝධි කුමරු රජ විය. ඔහුට එරෙහිව ගෝඨාභය විසින් කැරලි ගැසූ හෙයින් සංඝබෝධි කුමරු රාජ්‍යත්වයෙන් ඉවත්ව පලා යන ලදී. ඉන් පසු ගෝඨාභය කුමරු මේඝවර්ණාභය නමින් රජ විය. ඔහුගේ අවෑමෙන් ඔහුගේ වැඩිමහලු පුත් ජෙට්ඨතිස්ස කුමරු රාජ්‍යත්වයට පත්ව දස වසරකින් මිය ගිය හෙයින් ගෝඨාභය රජුගේ බාල පුත්‍රයා වූ මහසේන කුමරුට රාජ්‍ය හිමි විය. මෙතුමාගේ රාජ්‍ය කාලය ආගමික වශයෙන් යම් යම් මතභේදාත්මක අර්බුද ඇති වූ සමයක් වුව ද දේශපාලනික වශයෙන් ඉතා සමඟි සම්පන්න කාල පරිච්ඡේදයක් විය.

– බී.එම්. රුමල් වින්දුල බණ්ඩාර-

දහම් පා ආචාර්ය

(පුරාවිද්‍යා අධ්‍යයන අංශය

කැලණිය විශ්ව විද්‍යාලය)

Leave a Reply