ගමට ම පින්කෙතක් වූ අමුණුගොඩ පින්බිම

DSC00962

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ මැද පත්තුවේ පිහිටි අමුණුගොඩ කුඩා ග්‍රාමයකි.සිරි නිවෙස් සිරිකතට වාසභූමි වූ මෙම භූමි භාගය දුටුවන්   ප්‍රසාදය ගෙන දෙන මනසකාන්ත වූ ස්වභාවික පරිසරයකට උරුමකම් කියන්නකි.අතීතයේ මෙම භූමි ප්‍රදේශයේ බමුණු වංශයේ පිරිස් වාසය කල නිසා බමුණුගම අමුණුගොඩ  වන්නට ඇති බොහෝ දෙනා විශ්වාස කරති.
එය ප්‍රත්‍යක්ෂ සාධකයක් වශයෙන් පිළිගත හැකිය.අමුණුගොඩ විහාර භූමියේ පිහිට ඇති ශිලා ලේඛනයේ ඇති සඳහනකින් ද මේ වග හඳුනා ගත හැක.අමුණුගොඩ ගම් පියස තුල පිහිටා ඇති වැදගත් ම ස්ථානය අමුණුගොඩ රජ මහා විහාරය යි.මෙය කුඩුමිරිසේ රාජ මහා විහාරය ප්‍රසිද්ධියට පත් ව ඇත.කුඩුමිරිස් නම් දුර්ලභ වැල් වර්ගයක් තිබුණු නිසා මෙම නම ව්‍යවහාර වූ බව සඳහන් වේ.නමුත් අද වන විට එම වැල් වර්ගය දක්නට නොමැත.ඓතිහාසික ශිලා ලේඛනයෙන් හා ඉපැරණි බෝධීන් වහන්සේගෙන් මෙහි ඉතිහාස ගත බව හඳුනාගත හැක. වත්මන් සඟ පරපුර සීලානන්ද හිමියන්ගෙන් ඇරඹුනද අතීතයේ මෙහි තාවකාලිකව භික්ෂුන් වහන්සේලා වැඩසිටි බව වාර්තා වෙයි. මෙම විහාස්ථානයේ පෞරාණිකත්වය පැරකුම්භා රාජසමය දක්වා දිවයන බව දැනට පිළිගැනෙන මතය වන නමුත් විහාරස්ථානයේ ඉතිහාසය ඊටත් වඩා ඈත අතීයට දිවයන බව විහාරස්ථානයේ සෙල්ලිපිය හා කටාරම් ආදිය සාක්ෂි දරයි.

විහාරස්ථ සෙල් ලිපියේ සඳහන්ව ඇති පරිදි

“ස්වස්ථි ශ්‍රී   මහා සම්මත පරම්පරානුයාත සූර්යවංශාභිජාත ශ්‍රී ලංකාධිපති          ත්‍රී සිංහලාධීශ්වර  නවරත්නාධිපති  ශ්‍රීමත්   සිරිසඟබෝ  ශ්‍රී පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේට දසවන වෙසඟ පුර දොළොස්ව ජයවර්ධනපුරයෙහි…

යනුවෙන් සෙල් ලිපියේ ඇති සඳහනින් මෙම මතය වඩාත් සාධනීය වේ.එනමුත් එම ශිලා ලිපියේ ම පීතෘ මහාරජාණන් වැඩසිටි කල කරන ලද ක්‍රියාවන් පිළිබඳව සඳහන් වීම නිසා විහාරයේ ඓතිහාසිකත්වය සයවන පැරකුම් රාජ සමයට ත් ඈත අතීතයකට හිමිකම් කියන බව පෙනේ.විහාරස්ථානයෙන් හමු වූ පැරකුම්බා කාසියෙන් ද එම නිගමනය

තහවුරු වීමෙන් හා විහාර ගෙය පිහිටි ගල් පර්වතයෙහි කොටන ලද කටාරම් ක්‍රමය තත් ප්‍රදේශයේම පිහිටි වෑබඩ රජ මහා,ඌරුවල රජ මහා විහාරය,මාළිඟාතැන්න සෙනසුන යන තන්හි ඇති කටරම් ක්‍රමයන් හා සැසඳීමේදී මෙහි ඉතිහාසය වළගම්බා රාජ සමයටම දිව යන බව පිළිගත හැක.ඓතිහාසික කරුණු  කෙසේ වුව ද මෙම විහාරස්ථානය කෝට්ටේ රාජධානි සමයේ ඉඳි කෙරුණු බව වත්මන්  පිළිගත් මතය යි.DSC01074

ඈත අතීතයේ පටන් ම විහාරයේ කලින් කලට භික්ෂූන් වහන්සේලා වැඩ සිට ඇති අතර පූර්ණ වශයෙන් විහාරස්ථානයක් ගොඩනැංවීමේ පුරෝගාමියා වූයේ  කොස්සින්න යටවත්ත සඟ පරපුරේ ගස්පේ ගුණානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ය. උන්වහන්සේට ප්‍රථම ගිනිමන්දාවල හිමියන්,කිනිගම හිමියන්,හඟුරන්කෙත රේවත හිමියන් තාවකාලිකව වැඩ විසූ බව ජනප්‍රවාදයේ එයි.ගුණානන්ද හිමියෝ මෙම විහාරයේ ස්ථීර වාසය සඳහා පැමිණි ප්‍රථම හිමි නමයි.උන්වහන්සේ 1938 වර්ෂයේ කොස්සින්නේ ගරු සීලානන්ද නා හිමියන්ගේ අපවත් වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර අමුණුගොඩ මේධානන්ද හිමියන්ට විහාරස්ථානයේ කටයුතු පවරා දෙවැනි ශිෂ්‍යයා වන කොස්සින්නේ උපනන්ද හිමියන් සමඟ කොස්සින්න රජමහා විහාරයට වැඩමවා ඇති බවට තොරතුරු හමුවේ.එතැන් පටන් ඇරඹෙන්නේ අමුණුගොඩ මේධානන්ද ලොකු හාමුදුරුවන්ගේ අවධිය යි.මේධානන්ද නා හිමියන්ගේ අවදිය විහාරස්ථානයේ වත්මන් දියුණුවේ මූලාරම්භය ලෙස සැලකිය හැකිය.උන්වහන්සේගෙන් ඉටු වූ සුවිශේෂී කාර්යන් අතර විහාර භූමිය පුළුල් කිරීම,වර්ෂ 1945 දී විහාර මලුව වට ප්‍රාකාරයක් ඉඳි කිරීම ආරම්භ කිරීම,වසර 600 කටත් වඩා ඉපැරණි අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනු ශාඛාවක් වූ විහාරස්ථ බෝධීන් වහන්සේ වටා ප්‍රාකාරයක් ඉඳිකිරීම,මලසුන් ගෙයක් ඉඳි කිරීම,ළිං පොකුණු ආදියෙන් සමලංකෘත කිරීම උන්වහන්සේ අතින් සිදු විය. උන්වහන්සේගේ ප්‍රධානත ම යෝධ කර්තව්‍ය වූයේ ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ඉඳි කරන ලද ධර්ම ශාලාවයි.මේ සඳහා මුල්ගල වර්ෂ 1945 අගෝස්තු මස 24 වන දින තබන ලදී.මෙම යෝධ කර්තව්‍යයේ නිමාවක් දැකීමට ප්‍රථම බලවත් ලෙස රෝගාතුර වූ නා හිමිපාණෝ වර්ෂ 1952 ජනවාරි මස 03 වන දින අපවත් වී වදාළහ.

වර්ෂ 1956 ජනවාරි මස 15 වන දා අභිනව විහාර මන්දිරය විවෘත විය.වර්ෂ 1965 දී විහාරාධිපති පදවියට පත් වූ සෝමානන්ද නායක හිමිපාණෝ මෙම විහාරස්ථානයට කරන ලද මෙහෙවර සුවිශේෂී වේ.උන්වහන්සේගේ කාර්ය සංසිද්ධීන් අතර වත්මන් විහාර මන්දිරය ඉඳි කිරීම,වත්මන් බෝධි ප්‍රාකාරය ඉඳි කිරීම,දෙමහල් සංඝාවාසය ඉදි කිරීම,දෙමහල් දාන ශාලාව ඉඳි කිරීම,දෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය ඉඳි කිරීම මෙන් ම විහාරස්ථානයට මහත් අඩු පාඩුවක් ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉඳි කිරීම ආදිය ප්‍රධාන වේ.1971 වර්ෂයේ දී පැරණි බුද්ධ මන්දිරය වෙනුවට ගල්ලෙන් බුද්ධ මන්දිරය ඉදි කොට ඇත. 1986 වර්ෂයේ ආරම්භ කළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු 1991 වර්ෂයේ නිමකොට එතැන් පටන් වාර්ෂික ජනවාරි පිංකම් මාලාව මේ දක්වා පවත්වාගෙන එනු ලබයි. අවසන වීථි සංචාරය කරන දුරුතු මහා පෙරහරින් අවසන් වන පිංකම් මාලාවට අසූ මහා ශ්‍රාවක පූජා, ධර්ම දේශනා මාලාව,ලේ දන්දීමේ වැඩසටහන,තිස්පෑහතේපරිත්‍රාණ ධර්මදේශනාව, දොරකඩ අස්න අනුශාසනාව,මහා සංඝයා වහන්සේ විෂයෙහි දානමය පුණ්‍යකර්මය ආදී සුවිශේෂී පිංකම් රාශියකින් යුක්ත වෙයි.මෙම විහාරස්ථානය වර්තමානය වන විටද  සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්මවාගීශ්වරාචාර්ය විනය කීර්තිශ්‍රී අමුණුගොඩ සෝමානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන්  වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් හා ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති අමුණුගොඩ කුමාරදාස විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ කැපවීමෙන් සියනෑ කෝරළයේ ඇති වටිනාකමකින් යුක්ත පුණ්‍ය භූමියක් බවට පත්වී ඇත.

Copy of Untitled-19

DSC00084

ඒ සඳහා මහත් සහයෝගයක් ලබා දෙන්නේ ලාහුගල රජමහා විහාරාධිපති ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති ගරු ගෝනවල පියනන්ද ස්වාමීන් වහන්සේ,ගම්පහ සාම මහා විහාර පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති ගරු කන්දෙයායේ දේවානන්ද ස්වාමීන් වහන්සේ,ශාස්ත්‍රවේදී කන්දෙයායේ විමලානන්ද හිමි,නුවරගල සීලානන්ද හිමි ඇතුළු විහාරස්ථ ස්වාමීන් වහන්සේලා යි. 1993 වර්ෂයේ ආරම්භ කරන ලද සාමණේර පුහුණු ආයතනය වර්තමානයේ මුලු ප්‍රදේශයේ ම ආගමික කටයුතු වලට මහත් වූ අත්වැලක් සපයන අතර අනාගත බුද්ධ ශාසනයට තුළ වටිනා සාමණේර හිමිවරු රාශියක් මේ වන විට ද බිහි කර හමාර ය.

Untitled-1
ප්‍රදේශයේ සිදු කරන සියලූ ම ආගමික සාමාජික කටයුතු වලදී අමුණුගොඩ පන්සල අත්‍යාවශ්‍ය ම විහාරස්ථානයක් බවට පත් වී ඇත. වසර 600 කට වඩා පැරණි විහාරස්ථානයේ වැඩ හිඳිනා බෝධීන් වහන්සේ ප්‍රදේශයට ම මහත් ආශිර්වාදයකි. විහාරස්ථානය කේන්ද්‍රව පවත්වාගෙන යන සුදුමල් බණ්ඩාර දේවාලය ද   ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය දිනාගත් ස්ථානයකි.ගම වාසි ජනයාගේ දුකේදීත් සැපේදීත් ලංව සිටිනා,ලක්දිව ශාසන අම්බරය ම ආලෝකමත් කරන අමුණුගොඩ පින්බිම චිරාත් කාලයක් වැජඹේවා යි යන්න සියල්ලන්ගේ ම පැතුම යි.

Leave a Reply