බෝසත් දරුවන් තනන දහම් පාසල

 

බෝසත් දරුවන් තනන දහම් පාසල

අධ්‍යාපනය යන්නෙහි පුළුල් අර්ථය වන්නේ.. ‘ තමා තුළ ඇති හැකියාවත් , ශක්තියත් , මතුකොට ගෙන ගුණාත්මකව හා සාර්ථකව ඉහළ තලයකට ගමන් කිරීම .. යනුයි. ..
අලෝකෝ උදපාදී , විජ්ජා උදපාදී , පඤ්ඤා උදපාදී
න අනනසුතෙසු ධම්මේසූ ..
යන්නෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලද අවස්ථාවේ උදාන වාක්‍යයෙහි දේශනා කර ඇත්තේ ද මෙවැනිම අදහසකි. එම නිසා අධ්‍යාපනයෙහි යෙදෙන සෑම පුද්ගලයෙකුටම ගුණාත්මකව ඉහළ තලයකට යාමට නම් පාසල් අධ්‍යාපනය පමණක්ම ප්‍රමාණවත් නොවන බව තර්කයෙන් තොරව පිලිගත යුත්තකි. මෙහිලා ‘’දහම් පාසල’’ තුළින් ලබන දැනුම හා ආභාෂය දරුවන් තුළ ගුණාත්මක චාර්යාවන් ඇති කිරීමට ඉමහත් පිටුවහලක් වේ.

උසස් කුල උපතක්
දහස් ගම් බිම් තිබුණත්
පිරිස් බල සිටියත්
උසස් නැත සිප් සතර නැතහොත් .. ‘’
උසස් කුලය , දේපළ මිල මුදල් , පිරිස් බලය ආදී සෑම දේ ලැබුණත් , නිසියාකාර උගත්කමක් නැති කල උසස් පුද්ගලයෙකු වීමට නොහැකි බව එදා ‘සිරිත් මල්දම ‘ කෘතියෙහි කතවරයා (මුහන්දිරම් ඇම් ඇල් සිල්වා ශූරීන්) කියා තිබේ. වර්තමාන සමාජය තුළ සදාචාරය හා ගුණ ධර්ම පිරිහී යාමට හේතු වූ කරුණු රාශියක් තිබේ. සමාජ වි්‍යාඥයෙකු වු සර් අයිවර් ජෙනින්ස් පෙන්වා දෙන ආකාරයට පුද්ගලයන්ගේ එකතුව යනු සමාජයයි.
තරගකාරී රටාවකට හුරු වී ඇති පුද්ගල එකතුවකගෙන් සැදුම් ලත් වර්තමාන තරගකාරී සමාජය තුළ ආගම දහම කෙරෙහි ඇති නැඹුරුව අඩු වී යාම සදාචාරය හා ගුණධර්ම පිරිහී යාමට එක් හේතුවක් බව මගේ හැඟීමයි. ‘’සහතික’’ හඹා යන වර්තමාන අධ්‍යාපන රටාව තුළින් අපේ පැරැණි සිරිත් විරිත් ගිලිහී යාමත් ගෝලීයකරණයට හසුව , විදේශීය ගති පැවැතුම් අගය කිරීම හා වැළඳ ගැනීමත් අපේ සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය පිරිහීයාමට හේතු වූ බව අප විසින් පිළිගත යුතුව තිබේ.
සදාචාරය හා ගුණ ධර්ම රැක ගැනීම ආගම දහමට නැඹුරු වූවන්ගේ ලක්ෂණයකි. බෞද්ධයන් පමණක් නොව ක්‍රිස්තියානි මුස්ලිම් ආදී අන්‍ය ආගමිකයන් පවා තම ආගමික නායකයාගේ අණට කීකරුව ආගමානුකූලව ජීවත්වීමට දහම් අධ්‍යාපනය උගනිති. සෑම ආගමක් තුළින්ම උත්සාහ කරනුයේ වරදින් මිදුන සමාජයට වැඩදායක පුද්ගලයෙකු හැඩ ගැස්වීමයි. බෞද්ධයන් වූ අප ඈත අතීතයේ පටන් ම දරුවෙකුගේ උපතේ පටන් මෙලොවින් සමුගන්නා තෙක්ම ආගමානුකූල වත් පිලිවෙත් පිළිපැදීම සිරිතකි. විවාහ දිනයේ දී පෝරු මස්තකප්‍රාප්ත වන නව යුවළට අත පැන්වත් කිරීමත් , ජය මංගල ගාථා යනාදිය කියා ආශීර්වාද කිරීමත් සිංහල බෞද්ධයන්ගේ සිරිතකි. නව යුවළ නව නිවසක පදිංචි කරනුයේ ද මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙනි.
එතැන් පටන් මාතෘත්වය ලැබීමට සූදානම් වන අවස්ථාවේ පවා ‘ අංගුලිමාල පිරිත’ ඇතුළු සෙත් පිරිත් සජ්ඣායනා කිරීම , බෝධි පූජා පැවැත්වීම වැනි ආගමික වතාවත් ඉටු කිරීම සිදු කෙරේ. අලුත උපන් කිරි කැටියා මුලින්ම රැගෙන යන්නේද පන්සල වෙතය. ඉඳුල් කට ගෑම අකුරු කියවීම , ආදී ජීවිතයේ විශේෂිත වූ සෑම සිදුවීමකදීම පන්සල මහා සංඝරත්නය මුල්කර ගැණිනි. එම රාමුව තුළ තැනුන දරුවා සමාජයට බොහෝ වැඩදායක පුද්ගලයෙකු වූහ.
එදා බෝ සෙවණ යට , විහාර ගෙය තුළ අකුරු කියවු දරුවාගේ් සිත තුළ ඇති වූ පහන් හැඟීම් දරුවා වරදින් මුදා ගැනීමටත් , තැන්පත් දරුවෙකු කිරීමටත් යම් තරමක් දුරට හෝ හේතු වු බව සත්‍යයකි. පාසල හා දහම් පාසල තුළ අප දකින වෙනසද මෙයමය. පාසලේ පන්ති කාමරයකට සීමාවන දරුවාගේ සිත පන්සල් භුමියේ දී චෛත්‍යය , බෝ මළුව , බුදු ගෙය වැනි ස්ථාන තුළ රැඳී පවතී. පවට බිය වීම , බොරු කීමෙන් ඈත්වීම දහම් පාසල් දරුවන් තුළ නිබඳව ඇත්තේ එබැවිනි එදා නූගත් යැයි සැලකුන සමාජයේ වැඩිහිටියන් පුරුදුව සිටියේ දරුවාට ගල්ලෑල්ලක් , ගල්කූරක් අරන් දී ගමේ පන්සලේ නායක හාමුදුරුවන් වෙත භාර දීමය. පන්සල් භූ®මිය , භික්ෂු , සංඝයා සමඟ ගැටෙමින් අකුරු උගත් දරුවා මහා උගතකු නොවූවද , සමාජයට හිතාකාමී ප්‍රගතිශීලී පුද්ගලයෙකු විය. අද පාසල මතින් වැඩි අධ්‍යාපනයක් ලබන දරුවාට වඩා එදා පන්සල් අධ්‍යාපනය තුළින් අධ්‍යාත්මික දියුණුවක් ලැබූ දරුවා සමාජයට වැඩදායක වූයේ ය.
ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බලාපොරොත්තු වන ප්‍රජානත , ආවේදන , හා මනෝචාලක යන අංශ තුළම සම්පූර්ණ කෙරෙන එකම අධ්‍යාපන ආයතනය ‘’ දහම් පාසල’’ බව කියා දෙන්නට මම මෙය මහගු අවස්ථාවක් කර ගනිමි. පාසල තුළදී පොත පත ඇසුරින් දැනුම ලබා ගන්නා දරුවාට ජීවිතය ඉදිරියට ගෙන යාමේ බලවේගය එමඟින් ලැබේ. දහම් දැනුම ලබන දරුවාට ජීවිතය ජය ගැනීමේ පාලන බලවේගය දහම් පාසල තුළින් ලැබේ. පාසල තුළින් බුද්ධි වර්ධනය හා සහතික පත් ගොඩ ගසා ගන්නා දරුවාට සදාචාරාත්මක ගුණවගාවන් හා ජීවිත හරයන් උගන්වන්නේ දහම් පාසලයි.
සංයුක්ත නිකායෙහි දෙවතා සංයුතියෙහි ඇතුළත් වුට්ඨි සූත්‍රයෙහි සඳහන් වන පරිදි නැගෙන්නවූත් අතරින් විද්‍යා (ප්‍රඥාව) ශ්‍රේෂ්ඨ වන බව බුදු රජාණන් වහන්සේද දේශනා කර ඇත. ප්‍රඥාව නම් දැනුම හා පැහැදිළි අවබෝධයයි. ලෞකික හා ලෝකෝත්තර සියලු සැප සම්පත් ලබා ගැනීමට ප්‍රඥාව මූලික වන බව අප මහා භාග්‍යවතුන් වහන්සේ දේශනාකර ඇත. ආලවක යක්ෂයා ඇසූ පැනයකට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ‘’ප්‍රඥා ජීවිං ජීවිතමාහු සෙට්ඨං..’’ යනුවෙන් ප්‍රඥාවෙන් ජීවත් වීමට ශ්‍රේෂ්ඨ බව වදාළහ. එසේ නම් සමාජයේ ජීවත් වන අප කා හටත් එදිනෙදා ජීවිතය ගෙන යාමට අවශ්‍ය වන පැහැදිළි අවබෝධය ප්‍රායෝගිකව අත් විදීමට හැකි තවත් එක් ස්ථානයක් ලෙස දහම් පාසල දරුවාට වැදගත් වන්නේ ය.
1886 දී ගාල්ල වල්ලිවත්තේ විජයානන්ද දහම් පාසලෙන් ඇරඹුන දහම් පාසල් සේවාව තුළින් එදා මෙදා තුර සමාජයට දායාද කර දුන් බෝ්සත් දරු පරපුර අප රටට ආඩම්බරයකි. සමාජයට වැඩදායක දරු පරපුරක් තැනීමෙහි ලා නිස්සරණාධ්‍යාශයෙන් සේවාවෙහි යෙදෙන සමස්ත දහම් පාසල් ගුරු පරපුරට අප රටෙහි සියලු දෙනාගේම ප්‍රණාමය හිමි විය යුතුය. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා තම කාලය හා ශ්‍රමය කැප කරන මේ ගුරු පරපුර අගය කිරිම දෙමාපිය සැමගේම යුතුකමකි. ඔවුනට හිමි ගෞරවය තවමත් සමාජයෙන් නොලැබීම කනගාටුවට කරුණකි.
ඈත අතීතයේ සිට මෙතෙක් අප රටෙහි බිහි වූ දාමරිකයන් හා පාතාල නායකයන්ගේ චරිත කථා පිරික්සීමේ දී පෙනී යන්නේ ඔවුන් අතරින් දහම් අධ්‍යාපනය නොලැබූවන්ගේ ප්‍රතිශතය වැඩි බවය. ලක් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දරුණුතම ත්‍රස්තවාදි නායකයා ලෙස සැලකෙන වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ චරිතය මේ කියමන සනාථ කිරීමෙහි ලා ඇති හොඳම සාධකයයි. 2009 මැයි 21 දින ‘දිනමිණ’ පුවත් පතෙහි පළ වී තිබූ ආකාරයට ප්‍රභාකරන්ගේ කුඩා අවධිය ගැන ‘’ ධ්ව්ඉධ්ච්ඡ් ඒව් ඡ්ඹ්උඉධ්ඍඡ් ර්ධ්ව්ච්’’ නම් කෘතියෙහි ඔහු සඳහන් කර ඇත්තේ මෙසේ ය. මගේ ළමා කාලය ගෙවී ගියේ හුදෙකලා නිවෙසක කුඩා කවයක් තුළය. .. මෙසේ හැඳුන ප්‍රභාකරන් කුඩා අවධියේ සිටම කැටපෝලය ආයුධය කරගෙන විවිධ හිංසාකාරී ක්‍රියාවනට පෙළඹි ඇත.
කෘමීන් වැනි සතුනට ඉදිකටුවලින් ඇණ මරා දැමීම ඔහුගේ ආශාවක් වී ඇත. ඒ කාලයේ ප්‍රභාකරන්ගේ දෙමාපියන් ඔහු ගැන සැලකිළිමත් වූයේ නම් පාසල් , අධ්‍යාපනය කෙසේ වෙතත් ඔවුන්ගේ ආගමානුකූ®ල අධ්‍යාපනයකට ඔහු යොමුු කළේ නම් ප්‍රභාකරන්ගේ දෛවය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි. ‘’අධ්‍යාපනය’ තුළින් දරුවා ‘පූර්ණ’ පුද්ගයෙකු කරයි ‘ දහම් අධ්‍යාපනය’ තුළින් පුර්ණ දරුවා ‘පරිපූර්ණ’ පුද්ගලයෙකු කරයි’ මේ නිසා තම දරුවාට දහම් අධ්‍යාපනය ලබාදීම අද කාලයේ දෙමාපියන් සතු සුවිශේෂී වගකීමකි’ සාදාචාරාත්මක , ගුණ ධර්ම හෙබි පිරිපුන් මිනිසුන් පිරි සමාජයක් බිහි කිරීමෙහි ලා එය ඉතා වැදගත් වනු ඇත. තරගකාරී සමජයේ ඔබේ දරුවා උගතෙකු , දක්ෂයෙකු පමණක් නොව සාරධර්ම , ගුණ දහමින් හෙබි සදාචාර සම්පන්න දරුවෙකු කිරීමට පියවර ගැනීම දෙමාපියන්ගේ උදාර වගකීමක් බව මතක් කරමු.
‘පඤ්ඤා නරානං රතනං ..’’ මනුෂ්‍යායට ඇති උසස්ම රත්නය ප්‍රඥාව බව අජරසා සූත්‍රයෙහි බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත. ලෝකයෙහි, ඇති සියලු සංස්කාර ධර්මයන් ඇති සැටියෙන් දකිනා නුවණ ප්‍රඥාවයි. දහමට අනුමව ජීවිතාවබෝධයක් , දැනුමත් ලබා ගැනීමට ඇති ස්ථානය දහම් පාසලයි. එහෙත් දහම් පාසලට පැමිණීමටවත් වේලාවක් දැන් දරුවන්ට නැත. ඇතැම් උදෑසන පාසලට යන දරුවාට පාසල නිමා වී නිවසට පැමිණෙනවා වෙනුවට යාමට සිදු වන්නේ උපකාරක පන්තිය වෙතය. එවැනි පන්ති කීපයකට සහභාගී වන දරුවා නිවෙසට පැමිණෙන විට රාත්‍රී ආහාරය ගන්නා වෙලාවද පසුවි හමාරය. යාන්ත්‍රික දිවි පෙවෙතක් හිමි වී ඇති වර්මාන දරුවන් ඉරිදා දින පවා උපකාරක පන්තිවලට යොමු කිරීමට වැඩිහිටියන් උත්සුක වෙයි.
දහම් පාසලට පැමිණ ඉගෙන ගන්නට ඔවුන්ට වෙලාවක් නැත. දහම් පාසල තුළ පැවැත්වෙන බාහිර කටයුතු සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි කරවා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත්වී තිබීම කනගාටුවට කරුණකි. මෙය වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු කරුණක් බව අවධාරණය කරනු කැමැත්තෙමු. අඩුම තරමින් ඉරිදා දිනයන් හි පමණක්වත් උපකාරක පන්ති පැවැත්වීම නවත්වන්නේ නම් එය දැයේ දරුවනට කෙරෙන මහඟු සේවයක් වනු ඇත.
ජාතිකානුරාගය , දේශාභිමානය වැනි හැඟීම් උද්දීපනය කෙරෙන දහම් අධ්‍යාපනය පුද්ගල ජීවිතයකට අත්‍යාවශ්‍යය. අද සමාජය තුළ දරුවකු හට සුමඟට යාමට වඩා නොමඟ යාමට ඇති ඉඩකඩ වැඩිය. පාරිගණක යුගයක ජීවත්වන අපේ දරුවන් මත්කුඩු, මත්වතුර පාවිච්චියට පමණක් නොව ඇතැම් ඖෂධ වර්ග පවා මත් වතුර ලෙස පාවිච්චියට ගැනීමට යොමුවී ඇත්තේ කාගේ වරදින්ද .. ? දෙමාපියනි, අද ඔබ සතු වගකීම ඔබෙන් ගිලිහී ගොස් ඇති බව මතක් කරමු. ඔබේ දරුවා මුදල් ගෙවා ටියුෂන් පන්ති වෙත යැවීමට උනන්දුවන්නා සේම දහම් පාසලට යොමු කිරීමටත් උනන්දු වන්න. අද වැඩිහිටි නිවාස තුළට හිරවී දුක්ගිනි උසුලන වැඩිහිටියන් අතරට අනාගතයේ දී ඔබද එක් නොවන්නට වග බලා ගැනීමට නම් අද ඔබේ දරුවාට දහම් අධ්‍යාපනය ලබා දෙන්න. සැමට තෙරුවන් සරණ ලැබේවා!!!
කිරිල්ලීපනේ ධම්මරත්න හිමි
විහාරාධිපති
කුඩා අරුග්ගොඩ ශ්‍රී මනේද්‍රාරාම විහාරය

Leave a Reply