ලක්දිව භික්ෂුණි ශාසනයේ ආරම්භය හා විකාශනය

 

Picture

වංශ කථාවල සදහන් වන ආකාරයට මිහිදු හිමියන් මෙරටට වැඩම කොට දේශනා කරන ලද විමාන වත්ථු, පේත වත්ථු, හා සච්චසංයුක්ත ආදී ධර්ම දේශනාවන් ඇසූ මහානාම යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කුල කාන්තාවන් සෝවාන් වී පැවිදි වීමට අවශ්‍ය බව සැලකොට සිටියහ. කාන්තාවන් පැවිදි කිරීම තමන්වහන්සේට ඇකැප වූ බැවින් ඒ සඳහා තම නැගණිය සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට ගෙන්වා ගතයුතු බව මිහිදු හිමියන් දේවානම්පියතිස්ස රජුට සැලකර සිටියහ. ඒ අනුව ක්‍රියාත්මක වූ රජතුමා අරිට්ඨ මහ ඇමැති ඇතුළු රාජකීය දූත පිරිසක් අශෝ්ක රජු වෙත පිටත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් සමග ලක්දිවට වැඩම කළ සංඝමිත්තා තෙරණියෝ, ඒ වන විටත් කහවත් හැඳ දස සිල් සමාදන්ව රජතුමා විසින් කරවන ලද උපාසිකාරාමයේ සිටි, අනුලා දේවිය ඇතුළු පන්සියක් කාන්තාවන් පැවිදි කළහ. එසේ පැවිදි බව ලැබූ මෙම භික්ෂුණීන් නොබෝ දිනකින් බවුන් වඩා රහත් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. මෙසේ ආරම්භ වූ ලක්දිව භික්ෂූණී ශාසනය එවක් පටන් සියවස් 12 ක් පමණ යනතුරු මෙරට අඛණ්ඩව පැවැති බවට සාධක දැක ගත හැකිය. සමන්තපාසාදිකාව මහාවංසය යන මූලාශ්‍ර ග්‍රන්ථයන්හි භික්ෂුණී ශාසනය පිළිබඳ තොරතුරු මද වශයෙන් සදහන් වුවද දීප වංශයේ මේ පිළිබඳව තරමක විස්තර සදහන් කොට ඇත.

මෙසේ ආරම්භ වූ භික්ෂුණී සමාජය ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ලක්දිව විවිධ ප්‍රදේශයන්හි සිට පැමිණි දහස් ගණන් කාන්තාවෝ සංඝමිත්තා තෙරණිය වෙතින් පැවිද්ද ලැබූහ. ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය තරම් ඉඩ කඩ උපාසිකාරාමයෙහි නොමැති වූයේන් රජු විසින් තෙරණියගේ උපදේශකත්වය යටතේ ගොඩනැගිලි දොළසක් ඉදි කළහ. එයින් ගොඩනැගිලි තුනක් විශාල ඒවා වූ අතර එයින් එක් ගොඩනැගිල්ලක මහා බෝධිය ගෙනා නැවේ කූප යට්ටිය හෙවත් කුඹ ගසද , එකක පියස හෙවත් නෞකා දණ්ඩද, අනෙක් ගොඩනැගිල්ලෙහි අරිත්‍රය හෙවත් සුක්කානමද තැන්පත් කරන ලදී.

දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී ආරම්භ වූ භික්ෂුණී ශාසනය එම යුගයේ ඉතා දියුණු තත්ත්වයකට පත් වුවද දේවානම්පියතිස්ස රජුගෙන් පසුව රාජ්‍යත්වයට පැමිණෙන උත්තිය රජුගේ කාලයේදී යම්කිසි පසුබෑමකට ලක්වන බව පෙනේ. උත්තිය රජුගේ 9 වන රාජ්‍ය වර්ෂයේදී සංඝමිත්තා තෙරණියගේ පිරිනිවීමත් සමගම භික්ෂුණී ශාසනයද තරමක පසුබෑමකට ලක්විය. එතැන් සිට දුටුගැමුණු රාජ්‍ය අවධිය තෙක් ලක්දිව භික්ෂුණී ශාසනය නිහඬය. ඉන් පසු භික්ෂුණී ශාසනය පිළිබඳ තොරතුරු හමුවන්නේ දුටුගැමුණු රාජ්‍ය යුගයේදීය.

දුටුගැමුණු රාජ්‍ය කාලයේ මහිලා, සමන්තා, ගිරිකාලි, දාසි සහ කාලි නමින් ප්‍රකට භික්ෂුණීන් පස් නමක් සිටි බව මූලාශ්‍රවල සඳහන්වේ. ඔවුන් රුහුණේ සිට අනුරාධපුරයට වැඩම කොට විනය ඉගැන්වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. දුටුගැමුණු රාජ්‍ය අවධිය ලක්දිව භික්ෂුණී ශාසනයේ ස්වර්ණමය යුගය වශයෙන් හැඳීන්වූවාට වරදක් නැත. දුටුගැමුණු රජු විසින් කරවූ මිරිසවැටි විහාරය පූජා කරන උත්සවයට ලංකාවේ දස දෙසින් භික්ෂුණීන් අනූදහසක් වැඩම කොට සිටි බව මහාවංසයේ සඳහන් වේ. එමෙන්ම රුවන්වැලි සෑ මංගල ශිලි ප්‍රතිෂ්ඨාපන උත්සව දිනයේදී දඹදිවෙන් වැඩම කළ පියදස්සී නම් රහතන් වහන්සේගේ ධර්ම දේශනය අසා රහත් වුවන් අතර භික්ෂුණීන්ද දහහතර දහසක් සිටි බව මහාවංසයේ සඳහන් වේ. පාලි රසවාහිනිය, සිහලවත්ථුප්පකරණය , විශුද්ධි මාර්ගය හා වෙනත් පැරණි අටුවා ග්‍රන්ථයන්හිද මෙම යුගයේ විසූ භික්ෂුණීන් පිළිබඳ විවිධ තොරතුරු රැසක් සඳහන් කොට ඇත. ඒ අතර සිල්වත් භික්ෂුණීන් මෙන්ම ඉතා දුස්සීල භික්ෂුණීන් පිළිබඳ කථා පුවත් ද වේ.

දුටුගැමුණූ රාජ්‍ය අවධියෙන් පසුව උදාවන වළගම්බා රාජ්‍ය යුගයේදී භික්ෂුණීන්ට නොසිතූවිරූ අභාග්‍ය සම්පන්න අවස්ථා කිහිපයකටම එක්වර මුහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය භික්ෂුණී ශාසනයේ පරිහානියට ප්‍රබලවම බලපෑ සාධකයක් විය. ආර්ථික , දේශපාලනික හා සමාජියීය වශයෙන් පැනනැගුණා වූ ගැටලු රාශියකට එකවර මුහුණ දීමට සිදු වූ බැවින් කාන්තාවන් වශයෙන් භික්ෂූණීන්ට එය දරා ගැනීමට නොහැකිවූවා විය හැකිය. 

වළගම්බා රාජ්‍ය කාලයේදී රට තුළ ඇතිවන දරුණූ දුර්භික්ෂය භික්ෂූණීන්ට පමණක් නොව භික්ෂූන්ටද රටෙහි අනෙකුත් වැසියන්ටද තදින් බලපෑවේය. නියං සමය උදාවීමත් සමගම සිය ගමෙහි ආරාමයෙහි විසූ භික්ෂූන්ටද නොදන්වා ගම් වැසියන් එම ගම් බිම් අතහැර වෙනත් ප්‍රදේශ වලට පලා ගියහ. පසුදා උදෑසන ගම් බිම් වලට පිඩු සිගා වඩින භික්ෂු භික්ෂුණීන්ට දක්නට ලැබුණේ මිනිසුන් විසින් අතහැර දැමූ පාළුවට ගිය ගම්මානයන්ය. වසර 12 ක පමණ කාලයක් පුරා පැවැති මෙම දරුණු දුර්භික්ෂයට මුහුණ දීමට නොහැකි වූ දහස් ගණන් ජනයා අතර භික්ෂු භික්ෂුණීන්ද වූහ. දුර්භික්ෂය නිසා අවසනාවන්ත තත්ත්වයකට රට පත්ව තිබූ මොහොතක රුහුණේ ‘තිය’ නම් බ්‍රාහ්මණයෙක් රජකම උදෙසා වළගම්බා රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළේය. මේ අතර දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් හත් දෙනෙකුද ලංකා රාජ්‍ය පැහැර ගැනීමේ යුද්ධ සේනාවක්ද රැගෙන එමින් සිටියහ. රට තුළ පැවැති මෙම අස්ථාවර තත්ත්වයට මුහුණ දීමට නොහැකි වූ වළගම්බා රජතුමා පලා ගියේය.

ලංකා රාජ්‍යය ආක්‍රමණය කළ ද්‍රවිඩ සේනාව රට තුළ ඉතා දරුණු අපරාධ කරමින් කුරිරු ලෙස දුෂ්චරිතයෙහි යෙදෙමින් මහත් විනාශයක් සිදු කළහ. ඒ විනාශ වූ පිරිස අතරට භික්ෂු භික්ෂුණීන්ද අයත්ය. රටේ පැවැති ආර්ථික අහේනියත් දේශපාලන අස්ථාවර භාවයත් නිසා සමාජීය වශයෙන් අසරණ වූ ජනතාවට භික්ෂු භික්ෂුණීන්ගේ රැකවරණය සැලසීම අපහසු කරුණක් විය. ඒ වන විටත් සියලු ජනයා තම තමන්ගේ ජීවිත රැක ගැනීමේ සටනට උර දෙමින් සිටියහ. දහ හතර අවුරුද්දක් එකිනෙකා මරා ගනිමින් රට පාලනය කළ කුරිරු ද්‍රවිඩ පාලකයන්ගෙන් රට මුදවා ගත් වළගම්බා රජු යළිත් වරක් සිංහාසනාරූඩ විය. ඒ වන විට නිය¼ගයද නිමාවී තිබිණි. ආර්ථික, දේශපාලන, සමාජීය, වශයෙන් පිරිහී තිබූ ලංකා රාජ්‍යය යළි නගා සිටුවන්නට රජු විසින් කටයුතු සංවිධානය කරන ලදී. මෙහිදී භික්ෂුණී ශාසනය කෙරෙහිද රජුගේ අවධානය යොමු විය. රජු විසින් සසුනට අවශ්‍ය සිව්පස සලසා දෙන ලදී. මහ සිළු මහතිස් රජු භික්ෂුණීන් තිස්පන් දහසකට තුන් සිවුරු පූජා කළ බව මහාවංසයේ සඳහන් වේ. ඔහුගේ පුත්‍රයා වූ කුටිකණ්ණ තිස්ස රජු භික්ෂුණීන් උදෙසා ගිනිහල් ගෙයක් කරවා දුන් අතර භික්ෂුණියගේ ප්‍රයෝජනය උදෙසා ‘ දන්ත ගේහ’ නමින් මෙහෙණවරක් ද කරවා ඇත. මහාදාඨික මහා නාග රජු විසින් භික්ෂුණීන් උදෙසා පූජා කරන ලද පිරිකර වල වටිනාකම ලක්ෂයක් පමණ වන බව මහාවංසයේ සඳහන් වේ.

මේ අයුරින් රාජ්‍ය අනුග්‍රහය සහිතව අඛණ්ඩව පැවති භික්ෂූණී ශාසනය මහසෙන් , 1 වන මිහිඳු ආදි රජවරුන් ගේ ද අනුග්‍රහය ඇතිව තව දුරටත් සංවර්ධනය වේ. මේ වන විට භික්ෂු ශාසනය තුළ පැවැති නිකාය භේදය භික්ෂුණී ශාසනයටද බලපෑ අතර භික්ෂුණී ශාසනයද නිකායත්‍රයට බෙදී ගියේය. භික්ෂුණී ශාසනයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය සඳහා ලාංකික භික්ෂුණීන්ගේ ප්‍රමුඛ දායකත්වයක් හිමිවන්නේද මේ යුගයේදීමය. මහානාම රජුගේ කාලයේදී මෙහි පැමිණි ‘නන්දි’ නම් නැව් හිමියකු ‘දේවසාරා’ නම් ලාංකික භික්ෂුණිය ප්‍රධාන භික්ෂුණීන් එකොළොස් නමක් චීනයට වැඩමවාගෙන ගොස් ඇති අතර ‘සංඝවර්මන්’ නම් තෙරුන් යටතේ චීනයේ භික්ෂුණී ශාසනය පිහිටුවන ලද බවට තොරතුරු චීන වාර්තා වල සඳහන් කොට ඇත.

ක්‍රි.ව. 434 දී චීන කාන්තාවනට පළමු වරට මෙහෙණි සසුනට ඇතුළු වීමේ භාග්‍ය උදාවිය. චීන වාර්තාවල සඳහන් වන මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ එම යුගයේ ඉතා දියුණු භික්ෂුණී ශාසනයක් ලක්දිව පැවති බවයි. 11 වන අග්බෝ රජුගේ කාලයේදී කළිගු රජතුමාත් එතුමාගේ බිසවත් මෙහි පැමිණි සසුන්ගත වූ බව චූලවංශයේ සඳහන් වේ. එම කළිඟු දේවියට අග්බෝ රජුගේ මෙහෙසිය උවටැන් කළ බවද මූලාශ්‍රයන් වැඩිදුරටත් සඳහන් කොට ඇත.

දේශපාලනික වශයෙන් මතුවූ කිසියම් ගැටලුවක් නිසා ඔවුන් එසේ ලක්දිවට පැමිණ සසුන්ගත වූවා විය හැක. කෙසේ නමුත් එයින් ගම්‍ය වන ප්‍රධාන කරුණක් වන්නේ මෙරට භික්ෂුණී ශාසනය කෙරෙහි විදේශීය රජ පවුල්වල පවා තිබුණා වූ විශ්වාසයයි.

1 වන මුගලන් රජු විසින් ‘රාජිණී’ නමින් මෙහෙණවරක් කරවා සාගලික නිකායික භික්ෂුණීන්ට පූජා කළ බව චූලවංශයේ සඳහන් වේ. මෙම සාගලික නිකාය නම් ජේතවන විහාරික නිකායයි. දේවසාරා භික්ෂුණිය අභයගිරි නිකායට අයත් යැයි මූලාශ්‍රවල සඳහන් වේ. 5 වන කාශ්‍යප රජුගේ ‘සක්ක’ නම් සේනාපතිගේ බිරිඳ වූ වජිරා දේවිය මහා විහාරික භික්ෂුණීන් උදෙසා පදලාංඡන නම් ස්ථානයේ ආරාමයක් ඉදි කළ බවත් එසේම 4 වන මිහිඳු රජු මහා විහාරික භික්ෂුණීන් සඳහා මහා මහල්ලක නම් ආරාමයක් ඉදි කළ බවත් මූලාශ්‍රයන්හි සඳහන් කොට ඇත. අනුරාධපුර යුගයේදී මහා විහාර, අභයගිරිය , ජේතවන යන නිකායත්‍රයට අනුව මෙරට භික්ෂුණීන්ද බෙදී වෙන්වී සිටි බව යථෝක්ත මූලාශ්‍රමය කරුණු මඟින් සනාථ වේ. 

මෙරට කාන්තා පරපුරෙහි ධර්ම ශාස්ත්‍රීය ඥානය වැඩි දියුණු කිරීමෙහිලා සුවිශේෂි වූ කාර්ය භාරයක් භික්ෂුණීන් වහන්සේලා වෙතින් සිදුවිය. මූලාශ්‍රය ග්‍රන්ථ වල සඳහන් වන ආකාරයට සංඝමිත්තා මහ රහතන් තෙරණිය සමග මෙරටට වැඩම කළ සියලුම භික්ෂුණීන් වහන්සේලා ධර්ම විනය පිළිබඳ විශේෂ ප්‍රගුණත්වයකින් යුක්ත වූ අය වූහ. ඒ අනුව එසේ පැමිණි තරුණ වියත් භික්ෂුණීන් ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථ ලාංකික කාන්තාවන්ට ඉගැන්වීමෙහි නිරත වූ බව දීපවංශයේ සඳහන් වේ. මනාව ධර්මය හා විනය උගත් ලාංකික භික්ෂුණීන් පසු කලෙක ධර්මධර විනයධර සුප්‍රසිද්ධ භික්ෂුණීන් බවට ද පත්ව ඇත.

කෙසේ වෙතත් ක්‍රි.පූ. 3 වන සියවසේ ආරම්භ වූ ලක්දිව භික්ෂුණී ශාසනය අනුරාධපුර යුගය අවසාන භාගය උදාවත්ම පරිහානිය කරා කෙමෙන් ළඟාවන්නට විය.විශේෂයෙන් මේ සඳහා වළගම්බා රාජ්‍ය යුගයේ ඇතිවූ අවුල් වියවුල් සහගත තත්ත්වය ප්‍රබල හේතුවක් විය. අනුරාධපුර යුගයේ සිටි රජවරුන් හා බිසෝවරුන් නොයෙක් අනුග්‍රහයන් හේතු කොට ගෙන නොනැසී පවතින්නට භික්ෂුණී ශාසනයට හැකි විය. 4 වන මිහිඳු රජුගේ ජේතවනාරාම ශිලා ලිපියේ අසරණ මෙහෙණියක සඳහා මෙහෙණවරක් කරවා දුන් බව සඳහන් කොට තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම රජුගේ කාලය වන විට භික්ෂුණී ශාසනය ඉතා දුර්වල තත්ත්වයකට පත්ව තිබුණු බවකි. 4 වන මිහිඳු රජුගෙන් පසු අවසන් වූ ලක්දිව බෞද්ධ රාජ්‍ය යළි බෞද්ධ රජකු යටතට පත්වන්නේ පොළොන්නරු යුගයේ රට එක්සේසත් කළ මහ විජයබාහු රජු දවසය. එහෙත් අවාසනාවකට මෙන් සියවස් 12 ක් පමණ අඛණ්ඩව නොනැසී පැවතුණු ලක්දිව භික්ෂුණී ශාසනය ඒ වන විට අතුරුදන්ව ගොසිනි. භික්ෂුණී ශාසනය පමණක් නොව ඒ වන විට භික්ෂු ශාසනයේද පරිහානිය උදා වී තිබුණි. 

මහා විජයබාහු රජු යළිත් වතාවක්, ආගමික සමාජීය දේශපාලනික වශයෙන් රට ස්ථාවර තත්ත්වයකට පත් කරන්නට උත්සාහ කළද භික්ෂුණී ශාසනයේ සංවර්ධනය උදෙසා ක්‍රියා නොකළේය. ඉන් පසු බිහි වූ කිසිදු රජ කෙනකු යළිත් වතාවක් ලක්දිව භික්ෂුණී ශාසනය ඇති කිරීමට උනන්දු වුයේ නැත. ඒ වන විට භික්ෂුණීන් කෙරෙහි සමාජය තුළ පැවැති ගෞරවයද ගිලිහී ගොස් තිබුණ බැවින් කාන්තාවන්ද භික්ෂුණී ශාසනයට ඇතුළත් වීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් ආර්ථීක , දේශපාලනික , සමාජීය වූ විවිධ හේතු කාරණා මත ක්‍රි.පූ. 3 වන සියවසේ සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් ආරම්භ කරන ලද ලක්දිව භික්ෂුණී ශාසනය අනුරාධපුර යුගයේ අවසානයත් සමග යළි ගොඩනැගිය නොහැකි ලෙසින්ම වැළලී ගියේය.

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
බාහිර කථිකාචාර්ය හේමමාලි කරුණාරත්න

Source: www.lakehouse.lk

 

Leave a Reply