පාළි භාෂාව යනු කුමක් ද?

 

පාලි ඉගන ගන්න සිංහලෙන් 

   පාළි සාහිත්‍යය යි අදහස් කරනු ලබන්නේ ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය ද ඒවායේ අටුවා හා ටීකා ද, ඒවා අනුව ලියවුණු ධර්මසංග්‍රහ ග්‍රන්ථ ද බුද්ධචරිතාදී අන්‍ය ග්‍රන්ථ ද වෙති.

     “පාළි” යන වචනය මුල්කාලයේදී යොදා තිබෙන්නේ ත්‍රිපිටක ධර්මය හැඳින්වීම සඳහාය. විශුද්ධිමාර්ගයේ කම්මට්ඨාන ගහණ නිද්දේසයෙහි චර්යාවිභාගය දක්වන තැන “යස්මා පන ඉදං චරියාවිභාවනවිධානං සබ්බාකාරෙන නෙව පාළියං, න අට්ඨකථායං ආගතං, කෙවලං ආචරියමත්තානුසාරෙන වුත්තං, තස්මා න සාරතො පච්චෙතබ්බං (මේ ආචාර්යා විස්තර විභාගය යම් හෙයකින් පාළියෙහි හෝ අටුවාවෙහි හැම ආකාරයෙන් නො ආයේ ද, හුදෙක් ආචාර්යමත අනුගමනයයෙන් කියන ලද්දේ ද එබැවින් එය සාර වශයෙන් නොගත යුතුය)”  මෙතැන “පාළි” යන්නෙන් අදහස් කරන ලද්දේ (දැන් එනමින් වහරනු ලබන භාෂාව නොව) ත්‍රිපිටක දේශනාවයි. විශුද්ධිමාර්ගයෙහිම ඛන්ධනිද්දේසයෙහි “ඉමානි තාව පාළියං ආගතරූපානෙව, අට්ඨකථායම්පන බලරූපං …. මිද්ධරූපංති එවං අඤ්ඤානිපි රූපානි ආහරිත්වා…මිද්ධරූපං තාව නත්ථියෙවාති පටික්ඛිත්තං” යන තැන ද පාළි ශබ්දය යොදා තිබෙන්නේ ත්‍රිපිටකධර්මය සඳහා ය.

මහාවංශයේ 37 වෙනි පරිච්ඡේදයෙහි බුද්ධඝෝෂාචාර්යයන්ගේ ප්‍රවෘත්ති දක්වන තැන එතුමාගේ ආචාර්යවරයා වූ රේවත මහතෙරුන් විසින් “පාළිමත්තං ඉධානීතං නත්ථි අට්ඨකථා ඉධ (පාළිය පමණක් මෙහි ගෙනෙන ලදී, අටුවා මෙහි නැත)” යි කී තැන ද ඒ ප්‍රවෘත්තියෙහිම “පාළිමහාභිධම්මස්ස අත්ථමස්ස න සො ධිගා” (=තෙරනම අභිධර්මපාඨයක් කීවේය. හෙතෙම අර්ථය අවබෝධ නොකළේය) යන තැන ද පාළි ශබ්දය යොදා තිබෙන්නේ ත්‍රිපිටකය සඳහා යි. භාෂාවක් සඳහා “පාළි” යන්න යොදා තිබෙන්නේ ඉතා මෑත කාලයකදී ය. අටුවාවල නොයෙක් තැන මේ සඳහා දකින්නට ලැබෙන්නේ “මාගධභාසා” යන්නයි.

බුද්ධඝෝෂාචාර්යයන්ගේ සඟිඅටුවා සතරේම ආරම්භයේ දී කියා තිබෙන්නේ:-                                                  
“අපනෙත්වාන තතො’හං සීහළභාසං මනොරමං භාසං
තන්තීනයානුච්ඡවිකං ආරොපෙන්තො විගතදොසං  ”

(=එහෙයින් මම මනෝඥ වූ සිංහල භාෂාව ඉවත් කොට ත්‍රිපිටක පාළියට යොග්‍ය වූ නිදොස් වූ භාෂාවට නගමින්)” යන්නයි. “පාලිභාෂාවට නගමින්” යයි එහි නො කියන ලදී. මෙසේ බුද්ධඝෝෂාචාර්යයෝ එයට පාළිභාෂාවය යි නොකියා ත්‍රිපිටක ක්‍රමයට ගැළපෙන භාෂාව යයි කීහ. “පාළිභාෂා” යන්නට පර්යාය වශයෙන් පවත්නා “තන්තිභාසා” යන වචනය වත් එතුමන් විසින් නොයොදන ලදී. නමුත් අන්‍යාචාර්යවරයෙකුගේ කෘතියක් වූ ධම්මපදට්ඨකථාවේ ආරම්භයෙහි:

”තං භාසං අතිවිත්ථාරගතං ච වචනක්කමං
පහායාරොපයිත්වාන තන්තීභාසං මනොරමං”

(= ඒ සිංහල භාෂාවත් අධික විස්තරයත් වචන පිළිවෙළත් හැර මෙනෝඥ වූ තන්තීභාෂාවට නගා) යන්නෙන් එයට “තන්තිභාෂා” නාමය දෙන ලදී. ත්‍රිපිටකය ලියා තිබෙන්නේ මාගධ (=මගධදේශයට අයත්) භාෂාවෙන්ය යන්න අර්ථකථාචාර්යවරයන්ගේ මතයයි. විශුද්ධි මාර්ගයේ 14 වෙනි පරිච්ඡේදයෙහි නිරුක්තිපටිසම්භිදාව විස්තර කරන තැන “සභාවනිරුත්තියා මාගධිකාය සබ්බ සත්තානං මූලභාසාය පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා” (= ස්වාභාවික නිරුක්තිය වූ, සියලු මනුෂ්‍යවර්ගයාගේ මුල් බස වූ, මාගධභාෂාවෙහි ප්‍රභේදගත ඥානය නිරුත්තිපටිසම්භිදා නම් වේ) යයි කියන ලදී. පිළිසිඹියා ලැබීමට හේතුවන කරුණු දැක්වෙන:
  
“පුබ්බයොගා බාහුසච්චං දෙසභාසා ච ආගමො”    ආදී ගාථාවෙහි කියවෙන “දෙසභාසා” යන්න තෝරන බුද්ධඝෝෂාචාර්යතුමා “දෙසභාසා නාම එකසතවොහාරකුසලතා: විසෙසෙන පන මාගධිකෙ කොසල්ලං” (=දේසභාෂා නම් පන්සියයක් භාෂාවන්හි දක්ෂ බවයි; විශේෂයෙන් මාගධභාෂාවෙහි දක්ෂබවය) යි කීහ. මෙහිදී උපදින තවත් ප්‍රශ්නයක් නම් “මාගධභාෂාව ලෝකවාසීන්ගේ මුල්බස විය හැකි ද?” යන්නයි. අර්ථකථාචාර්යවරයේ එය එසේමයයි පිළිගත්හ. විභඞ්ගඅටුවාවේ පටිසම්භිදාවණ්ණනාවෙහි (272 වෙන පිට) මෙසේ කියන ලදී:- මවුපියවරු කුඩා දරුවන් ඇඳපුටු ආදියෙහි හොවා ඒ ඒ දේ කියාදෙමින් (හෙවත් කථාකරමින්) ඒ ඒ වැඩ කරත්. කුඩා දරුවෝ ඔවුන්ගේ වචන අසා භාෂාව උගනිත්. මව දෙමළ ස්ත්‍රයක් වී පියා ආන්ධ්‍රවර්ගියෙකු වුවොත් ඒ දෙදෙනාගේ සංවාසයෙන් උපන් දරුවාට පළමුවෙන් දෙමළබස අසන්නට ලැබෙන් නම් හෙතෙම දෙමළ ඉගෙන ගනී; ඉදින් පියාගේ කථාව පළමුවෙන් අසන්නේ නම් ආන්ධ්‍රභාෂාව ඉගෙන ගනී. ඒ දෙදෙනාගේම කථාව නොඅසන්නේ නම් මාගධ භාෂාව කථා කරයි. යමෙක් මහවනයෙහි උපන්නේ නම්, එහි කථා කරන අන්කිසිවෙක් නැත්නම්, හෙතෙම ස්වධර්මතාවයෙන් වචන උපදවන්නේ මාගධභාෂාවම කථා කරන්නේ ය. නරකයෙහි, තිරිසන්යෝනියෙහි, ප්‍රේතලෝකයෙහි, දෙව්ලොවෙහි යන හැම තැනම මාගධභාෂාව උත්සන්නව පවතී. අන්‍ය වූ ඔට්ට, කිරාත, අන්ධක, යෝනක, දෙමළ ආදී අටළොස් භාෂාවෝ පෙරළෙති. (හෙවත් කාලාන්තරයේ දී වෙනස් වෙති.) මේ යථාභූත ආර්යබ්‍රහ්ම ව්‍යවහාරය යයි කියන ලද බුද්ධවචනය පෙළමට නගන්නේ මාගධභාෂාවෙන්ම නැගීය. කවර හෙයින් ද? අර්ථය ගෙනහැර දැක්වීම පහසු බැවිනි. මාගධභාෂාවෙන් පෙළට නැගූ බුද්ධවචනය පිළිසිඹියාපත් පුද්ගලයන්ගේ කනේ ගැටුණු විගස ඔවුන්ට එය ක්‍රමසියයෙන් ක්‍රමදහසෙන් වැටහේ. අන්බසකින් පිළියෙළ කළ ධර්මය අසා තළා තළා (=අපහසුවෙන්) උගතයුතු වෙයි. 
        
මේ කීම පිළිගත හැකි දැයි සොයා බලමු. වනයෙහි මංමුළා වූ හෝ කුඩාකල කෙසේ නමුත් තිරිසන් සතුන් මධ්‍යයට පැමිණි මිනිස් දරුවෙකුට මිනිස්බසක් නොඇසෙන බැවින් ඔහුට මාගධ භාෂාව ඉබේම පුරුදු වේ යයි මෙහි කියන ලදී. එය කිසිකලකත් සිදු නොවන්නකි. එසේ වනගත වූ මිනිස් දරුවන් කීපදෙනෙකුන් ගැන කීප වරක් අපට තොරතුරු අසන්ට ලැබුණි. ඔවුන්ට මොනම මිනිස් බසක්වත් කථා කළ නොහැකි විය. වෘකයන් රංචුවකට අසු වී ඇතිදැඩි වූ ළමයාට වෘක්කයන් මෙන් කෑගසන්ට හැකිවිය; උන් මෙන් ඉක්මනට දිවිය හැකි විය. ඒ දිවිමී කකුල් දෙකෙන් පමණක් නොව හතරගාතයෙනි. ඔහුට මිනිසුන්ගේ කෑම පුරුදු කරන ලද්දේ ඉතා අමාරුවෙනි. මිනිසුන්ගේ ඇඳුම් හා වාසස්ථාන ඔහුට ප්‍රිය නොවූහ. මුවරැලකට අසුවී විසූ මිනිස් දරුවෙක් මුවන්ගේ තණකොළ කන්ට පුරුදු වී සිටියේ ය. මිශ්‍ර විවාහයක් වී නම් දරුවාට පුරුදු වන්නේ මවගේ බසයි. මවගෙන් වෙන්කර කිරිමවුන්ට බාරදුනහොත් ඔහු ඉගෙන ගන්නේ ඒ කිරිමවුන් කථා කරන භාෂාවයි.

තිරිසනුන් අතරේ අදහස් හුවමාරු කරගන්නා පිළිවෙළවල් ඇති නමුත් ඔවුනතර ව්‍යක්ත භාෂාවක් නැති බව කවුරුත් දනිති. නමුත් මේ අටුවාවෙහි තිරිසන් ලෝකයෙහිත් මාගධභාෂාව අධිකව පවතීයයි කියා තිබේ. ප්‍රේතලෝක-දේවලෝකයන් ගැන තොරතුරු දැනගැන්මට අපට මගක් නැත. නමුත් දෛවීභාෂා (=දෙවියන්ගේ භාෂාව) යන නම් ලැබී තිබෙන්නේ සංස්කෘතයටය. එයද තමන් ගරු කරන භාෂාව උසස්කර ගැනීමට ගෙතූ අසත්‍යයක් විය හැක. පෙර කල ‘දේව’ නාමයෙන් ප්‍රකට වූවෝ ආර්යයයෝ ය; ආර්යයන්ගේ බසට ”දෛවීභාෂා” යයි කිය හැක. සංස්කෘතයේ මුල ඒ වෛදිකභාෂාව බැවින් එයට දෛවීභාෂා යයි කීමේ තේරුමක් තිබේ. මාගධභාෂාව අන්‍යභාෂා මෙන් වෙනස් නොවේ යයි කීම ද පිළිගත නොහැක. ලෝකයේ පවත්නා හැම දෙයම අනිත්‍යයයි කියන බෞද්ධයන්ම මෙසේ කීම පුදුමයකි. හැබැයි, ව්‍යවහාරයෙන් තොර වූ බසක් ග්‍රන්ථාරූඪ වූ කල්හි එය බොහෝ කලකට වෙනස් නොවෙයි. පාළි සංස්කෘත භාෂා දෙකම දැන් ව්‍යවහාරයෙන් තොර බැවින් අවුරුදු දහස් ගණනක් වෙනස් නොවී පවතී. අටුවාවෙහි මේ අර්ථය සලකා එසේ කියන ලද නම් එය තරමක් දුරට පිළිගත හැක. එහෙත් ව්‍යවහාරයෙන් තොරවූ මාගධියට පමණක් ඒ විශේෂය ලැබිය නොහැකි ය.
    
මාගධ යන වචනයෙන් ම එය ප්‍ර‍දේශයකට අයත් බව ඔප්පු වේ. එසේ ප්‍රදේශයයකට අයත් දේශීය භාෂාවක් හැම දෙනට සාධාරණ මූලභාෂාවක් විය හැක්කේ කෙසේ ද? බුද්ධ කාලයේ දී දඹදිව සියයකට වැඩිතරම් භාෂා තිබුණ බව බුද්ධඝෝෂාචාර්යයන්ගේ “දේසභාසා නාම එකසතවොහාර කුසලතා” යන වචන වලින් ඔප්පු වේ. මාගධය ද එයින් එක් බසකි. එය පමණක් මූළභාෂාව විය හැක්කේ කෙසේ ද යන්නට උත්තරයක් ඒ පොත්වලින් නොලැබේ. ගයිගර් පඬිතුමා කියන්නේ එය (මෙකල ඉංග්‍රීසි බස මෙන්) එකල දඹදිව නානා දේශවාසීන්ගේ අදහස් හුවමාරුව සඳහා පැවති සාධාරණ භාෂාවක් විය යන්නයි. ඒ කීම නම් පිළිගත හැක. එය තිරිසනුන්ට පවා සාධාරණවූවක් ය යන්න පිළිගැනීමට හේතු සාධක නැත. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුනු දැනගැනීම සඳහා බෞද්ධ සාහිත්‍යය නමැති පොතේ 7 වෙනි පරිච්ඡේදය කියවීම වටී. එහි මෙසේ කියා තිබේ: “පාලිභාෂාව සකුවට වඩා පැරණියයි සිතූ ආචාර්යවරයෝ ඒ මතය අතිශයෝක්තියකට නගමින් ලෝකයේ ආදිතම භාෂාව පාලිය (මාගධිය) යි කියූහ.” ආදිම භාෂාව කුමක්දැයි තවම සොයාගෙන නැතැයි කීම සත්‍යයයට වඩා ළංවනු ඇත. එහෙත් පාළිය අර්ධමාගධී ආදීප්‍රාකෘත භාෂාවලට වඩා පැරණියි. වේදභාෂාවත් පාළියත් මුල්ම ප්‍රාකෘත භාෂාවක අතු දෙකකි.

තවද, “අනුජානාමි භික්ඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණිතුං” “(= මහණෙනි, සියබසින් බුද්ධවචනය ඉගෙන ගන්නට අනුදනිමි.)” යන විනය පිටකයේ සුළුවගපෙළේ ඛුද්දකවත්ථුක්ඛන්ධකයෙහි පෙනෙන වාක්‍යය විස්තර කරන බුද්ධඝෝෂාචාර්යතුමා සකාය නිරුත්තියා = සිය බසින් = ස්වකීය භාෂාවෙන් යන්නට “එත්ථ සකා නිරුත්ති නාම සම්බුද්ධෙන වුත්තප්පකාරො මාගධිකො වොහාරො” යි ස්වභාෂාව හෙවත් ස්වකීය නිරුත්තිය නම් මාගධික භාෂාව යයි නිශ්චය කරයි. බුදුරද මගධයෙහි උපන්නෙක් නොවේ. එතුමා උපන්නේ ශාක්‍ය ජනපදය කෝශලරාජ්‍යයට යටත් රටක්ව පැවතුණි. (කොසොල් රජ ශාක්‍ය කුමරියක් විවහා කරගත්තේත් මේ සම්බන්ධය නිසා විය හැක.) බිම්සර රජු බෝධිසත්ව තාපසයන්ගෙන් ජන්මභූමිය ගැන ඇසූ විට බෝසත්තෙමේ:-

                                            ” උජුං ජනපදො රාජ, හිමවන්තස්ස පස්සතො
                                      ධනවිරියෙන සම්පන්නො, කොසලෙසු නිකෙතිනො

 

                                       ආදිච්චා නාම ගොත්තෙන සාකියා නාම ජාතියා

 

                                  තම්හා කුලා පබ්බජිතොම්හි රාජ, න කාමෙ අභිපත්ථයං” 

    
(= “මහරජ, මේ කෙළින් හිමාලය පර්වතපාර්ශ්වයෙහි ධන බලයෙන් යුක්ත වූ ජනපදයක් වේ; කොසොල් ජනපද වාසීන් කෙරෙහි ඇතුළත් වූ ආදිත්‍යගෝත්‍ර ඇති ශාක්‍යජාති ඇති මිනිස්සු එහි වෙසෙත්. මහරජ, මම කාමසම්පත් නොකැමැත්තේ ඒ කුලයෙන් පැවිදිවීමි)”යි කීය. (මෙය සුත්තනිපාතයේ පබ්බජ්ජා සූත්‍රෙයනි.) මේ කීමේ මගධරජ රජුටය. සිදුහත් කුමරා මාගධිකයෙක් වී නම් “මහරජ, මම ඔබගේ රාජ්‍ය වාසියෙක් වෙමි”යි පහසුවෙන්ම හඳුන්වා දෙන්ට තිබිණි. මෙය අනුව බලන විට බුදුරදුගේ සියබස මාගධිය නොව කෝශලභාෂාවයි. පාළි මහා ශබ්දකෝෂය සම්පාදනය කළ රීස් ඩේවිඩ්ස් පඬිතුමා කියන්නේ පාළිය කෝශලරාජ්‍යයන්හි අන්‍යොන්‍ය ගනුදෙනු සඳහා පැවති රාජ්‍ය භාෂාව වීය යන්නයි. ඒ කීම නම් තරමක් දුරට පිළිගත හැක. ශාක්‍ය ජනපදය මගධය හා කිසිසේත් සම්බන්ධ නොවූ බවත් ධර්මාශෝක කාලයෙන් පෙර එය කිසිවිටක මගධයට යටත් නොවූ බවත් ඉතිහාසයෙන් පැහැදිලි ය. එසේ තිබියදීත් අපේ මහාපණ්ඩිත සභාව වූ ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පණ්ඩිතොපාධි ප්‍රදානය සඳහා සම්මත වූ පොතක බුදුරද මගධයෙහි උපන්නේ යයි ස්ථිරලෙසම දක්වා තිබේ. “පාලිභාසා” නමැති පොතේ 30 වෙනි පිටෙහි; “මගධෙසු භවො, මගධානං ඉස්සරො” යන වාක්‍යයෙන් මගධ දේශයෙහි උපන්නේ ය යන අර්ථයෙන් ද මගධදේශස්ථානයන්ගේ ශ්‍රේෂ්ඨයා යන අර්ථයෙන් ද මාගධ යනු සර්වඥයන් වහන්සේට ද නමක් වේ. එහෙයින් මාගධ නම් වූ සර්වඥයන් වහන්සේගේ භාෂාව යන අර්ථයෙන් ද මාගධියයි කිය හැක්කේ ය” යන වාක්‍යයෙන් පෙනේ. එහිම 51 වෙනි “සිද්ධාර්ථ කුමාරයන් ද දෙව්ලොව සිට බලමින් ඉතාම උසස් වූත් ආර්යයයන්ගේ ජන්මභූමියවූත් ඓශ්වර්යයෙන් අනූන වූත් මේ මගධ රටම තෝරා ගන්නා ලද්දේ ඒ නිසාය යනු විවාද රහිතය,” යන වාක්‍යයෙන් පෙනේ. මගධරටට තරමක් දුරින් පිහිටි ශාක්‍ය ජනපදයෙහි සිද්ධාර්ථ කුමරා උපන් බව හැම බුද්ධචරිතයකම හැම අටුවාවකම කියවෙද්දී එතුමා මගධරටේ උපන්නේයයි කීම විවාද රහිත එකක් යයි මේ පඬිවරුන් කියන බැවින් මේ ගැන කිසිවක් මෙහි ලිවීම කාලය නිකරුණේ ගත කිරීමක් වන්නේ යැයි සිතමි. 
    
අපේ පඬිවරු පමණක් නොව ඇතැම් අර්ථකථාචාර්යවරුත් මෙවැනි පැටලිලි කර තිබෙන බව පෙනේ. විනය අටුවාවෙහි පඨමපාරාජිකවණ්ණනාවෙහි (හේවාවිතාරණ පොත 182) “තත්ථ අරියකං නාම අරියවොහාරො; මගධභාසා. මිලක්ඛං නාම යො කොචි අනරියකො අන්ධදමිළාදි” යන වාක්‍යයෙන් ආර්යව්‍යවහාරය නම් මාගධභාෂාව යයි කියන ලදී. මාගධය පමණක් ආර්යභාෂාව වීය යන්න එය මූලභාෂාව වීය යන්න වැනිම දුර්මතයකැයි සිතමි. මාගධිය ආර්යභාෂාවලින් එකක් වී යයි කියන ලද නම් එයට විරුද්ධ වීමට කරුණක් නැත. මගධරට ආර්යයන්ගේ උසස් භූමියකැයි මෙහි කියවෙන නමුත් කලිකතා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වූ නලිනාක්ෂදත්ත මහතා කියන්නේ මගධයෙහි බ්‍රාහ්මණබලය හීනව පැවති බැවින් බුදුරද එය ස්වධර්මප්‍රචාරය සඳහා තෝරාගත් බවයි. ඒ මහතා ලියූ “බෞද්ධාගම පැතිරයාමේ ඉතිහාසය” නමැති පොතේ දෙවනි පරිච්ඡේදයෙහි මෙසේ කියා තිබේ:- ග්‍රියර්සන් ඕල්ඩන්බර්ග් ආදී පඬිවරු ආර්යයන්ගේ කොටස් දෙකක් බොහෝ දුරවූ කාල දෙකකදී ඉන්දියාවට සංක්‍රමණය වූහයි කියත්. එයින් එක් කොටසක් වර්තමාන දිල්ලියට උතුරෙන් පිහිටි කුරු – පඤ්චාල රටවල වාසග්‍රහණය කෙළේ ය. පසුව පැමිණි අනික් කොටස මධ්‍යෙද්ශය අවට නැගෙනහිර – බටහිර – දකුණ යන දිශාවන්හි පිහිටි රටවල වාසග්‍රහණය කෙළේ ය. කල් යත් යත් ඔවුන්ගේ සිරිත් විරිත් භාෂාදියෙහි වෙනස් ඇති විය. බ්‍රාහ්මණයන්ගේ මධ්‍යදේශය වූ කුරුපඤ්චාල රටවල ඔවුන්ගේ බලය අධිකවිය; ඔවුහු තමන්ගේ සිරිත් විරිත් නොකඩ කොට රැකගත්හ. මධ්‍යදේශය අවට දුර ප්‍රමාණය සලකා අසුවල් සීමාවෙන් පිට යාගහෝමාදිය පැවැත්වීමට යොග්‍ය නැත යන නියමයක් ඇති කළ හ. ඔවුන්ගේ ඒ සීමාවලින් එකක් නම් සදානීර නදියයි. එය පිහිටියේ මගධයට බටහිර දෙසිනි. එබැවින් මගධය යාගාදියට අයොග්‍ය දේශයක් සේ ඔවුන් විසින් සලකන ලදී. එහිත් ස්වල්ප වශයෙන් බ්‍රාහ්මණයන් විසූ නමුත් ඔවුන්ගේ අධික බලපෑමක් එහි නොවීය. ඒ කාරණය නිසාම ෂට්ශාස්තෘවරාදී නානාමතධාරීහු එරටෙහි ස්ව – ස්ව – ධර්මයන් පැතිරවීමට උත්සාහ ගත්හ.” 

        කුරුරට ප්‍රඥාවත් මිනිසුන්ගෙන් පිරී පැවැත්තේ යයි සතිපට්ඨාන සූත්‍රයේ අටුවාව කියයි. එවැනි උගතුන් ඇති රටට බුදුරද දෙතුන් ගමනකට වඩා නොවැඩියේ යම්කිසි හේතුවක් නිසා විය යුතුය. ඒ හේතුව නම් බ්‍රාහ්මණ බලය එහි අධික ලෙස පැවතීම බව දැන් පැහැදිලි විය. එසේම උසස් බ්‍රාහ්මණවංශය පැවැත්තේ යටකී උතුරු පෙදෙසෙහි බව “උදිච්චබ්‍රාහ්මණකුලෙ” යන වචනයෙන් ඔප්පු වේ. “උදිච්චබ්‍රාහ්මණ කුලය” නම් උතුරු පෙදෙසෙහි වූ බමුණු පරම්පරාවයි. උතුරු පරම්පරාවෙන් පැවතෙන බ්‍රාහ්මණයන් උසස් කුලවතුන් සේ සැලකීම සකල භාරතයේම පුරුද්ද විය. 

         “සකා නිරුත්ති” – ස්වකීය නිරුත්තිය නම් මාගධ භාෂාවයයි බුද්ධඝෝෂාචාර්යයන් කී බව යට දක්වන ලදී. ඒ ස්ථානයෙහි එසේ කීම ගැළපේදැයි විමසා බැලිය යුතු ය. බුදුරදුන් විසින් “සියබසින් බුද්ධවචනය උගත යුතුය” යන නියමය කරන ලද්දේ මතු දැක්වෙන සිද්ධිය නිසාය. බ්‍රාහ්මණ වංශික සොහොයුරෝ දෙදෙනෙක් බුදුසස්නෙහි පැවිදිව යමෙළු තෙලුක යන නම් ඇතුව සිටියාහ. ඔවුහු ශබ්දශාස්ත්‍රයෙහිත් වාක්‍යරචනාවෙහිත් දක්ෂ වූහ. එක්දිනක් ඒ දෙදෙනා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක හිඳ බුදුරදුන්ට මෙසේ කීහ: “ස්වාමීනි, මෙකල නොයෙක් නම් ඇති, නොයෙක් ගෝත්‍ර ඇති, නොයෙක් ජාති ඇති, නොයෙක් කුලවලින් පැවිදි වූ භික්ෂූහු ස්වකීය – භාෂාවලින් බුද්ධවචනය කෙලෙසත්. එබැවින්, ස්වාමීනි, අපි බුද්ධවචනය වේදභාෂාවට නගන්නෙමු”යි. බුදුරද ඔවුන්ට ගර්හා කළේ ය. “හිස් පුරුෂයෝ වූ තෙපි කුමක් හෙයින් මෙසේ කියව්ද? මහණෙනි, බුද්ධවචනය ඡන්දසයට හෙවත් වෛදික භාෂාවට නොනැගිය යුතුය. යමෙක් නගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ. මහණෙනි, ස්වකීය භාෂාවෙන් බුද්ධවචනය ඉගෙන ගන්නට අනුදනිමි”යි උන්වහන්සේ වදාළ හ. (මේ කථාව විනය චුල්ලවග්ගපාළියෙහි එයි.) 

        මෙහි “ස්වකීය භාෂාවෙනැ”යි කියන ලද්දේ එක් භාෂාවක් ගැ නොවේ. යම් භික්ෂුවකට යම් භාෂාවක් අයත් නම් ඒ ස්වකීය – ස්වකීය භාෂාවෙන් බුද්ධ වචනය උගත යුතුය; එය වේදය මෙන් ගූඪභාෂාවකට නගා එක් පිරිසකට පමණක් සීමාකළ යුතු නොවේය යන්න බුදුරදුන්ගේ අදහසයි. නමුත් අර්ථකථාචාර්යතුමා මේ “ස්වකීය භාෂාව” නම් මාගධිය යයි ඔප්පුකිරීමට තැත්කර තිබේ. මාගධිය බුදුරදුන්ගේවත් ස්වකීය භාෂාව නොවන බව මා විසින් පෙන්වා දෙන ලදී. එයට තවත් සාධක ඕනෑනම් මැඳුම් සඟියේ ධම්මචෙතියසූත්‍රය බලනු මැනවි. එහි මෙසේ කියවේ: “පුන ච පරං භන්තෙ, භගවාපි ඛත්තියො, අහම්පි ඛත්තියො. භගවාපි කොසලකො, අහම්පි කොසලකො, භගවාපි ආසීතිකො, අහම්පි ආසීතිකො” (= තවද ස්වාමීනි, භාග්‍යවත්තෙමේ ද ක්ෂත්‍රියයෙකි, මම ද ක්ෂත්‍රියයෙක් වෙමි; භාග්‍යවත් තෙමේ ද කෝශලිකයෙකි. හෙවත් කොසොල් රට උපන්නෙකි;  මම ද කොසොල් රට උපන්නෙක් වෙමි; භාග්‍යවත් තෙමේ ද අසූවයස් ඇත්තේ ය, මම ද අසූවස් ඇත්තේ වෙමි.) මෙසේ කීවේ ප්‍රසෙනජිත් කොසොල් රජය. ( මේ කොසොල් රජු බුදුන් දැකීමට ගිය අන්තිම ගමනය.) මේ ගමනේදී දීඝකාරායන සෙන්පතියා රජු හැරදමා රාජකකුධභාණ්ඩයන් ගෙනගොස් විඩූඩභ කුමරුට රාජ්‍ය පැවරීය. කොසොල් රජ අනාථව රජගහනුවරට ගොස් එහි ශාලාවක දී මළේ ය. මේ සූත්‍රයෙන් ඔප්පු වෙන ඓතිහාසික කරුණු දෙකක් නම් අප බුදුරද කොසොල් රටට යටත් රටක වැසියෙකු බව හා කොසොල් රජු හා සමාන වයස් ඇත්කෙු බවයි. ත්‍රිපිටකපාළියෙන්ම බුදුරදුන් මාගධියකු නොවන බවට සාධක තිබෙද්දී අර්ථකථාචාර්යයන් කීවත් ඒ කීම පිළිගැනීමට යුතුකමක් අපට නැත. උන්වහන්සේ පළමුකොට මාගධයෙහි ධර්මප්‍රචාරය පටන්ගත් බව සැබෑය. එයට හේතුව එහි බමුණු බලය දුර්වලව තිබීම බව මා විසින් පෙන්වන ලදී. බුදුරදුන්ගේ පිරිනිවන්පෑම ඉතා ළං වූ අසූ හැවිරිදි කල්හිත් එතුමා මාගධිකයකුසේ පෙනී නොසිටි බවත් කෝශලිකයකු සේ පෙනී සිටි බවත් මේ සූත්‍රෙයන් ඉතා පැහැදිලි ය. 

        බුද්ධකාලයේදී කෝශලදේශයෙහි පැවති භාෂාවේ තත්වය දැන ගැනීමට අපට ලැබී තිබෙන ඉතා වැදගත් ලිපියක් නම් සැවැත්නුවර ජේතවනාරාමයේ නෂ්ටාවශේෂයන් අතරින් ලැබුණු ශිලාලිපියකි. අභාවප්‍රාප්ත ඩී.ඊ. වික්‍රමසූරිය මහතා විසින් පාටලීපුත්‍ර නගරයේ කෞතුකාගාරයෙන් පිටපත් කරගෙන “ශිලාලේඛන සංග්‍රහ” නමැති පොතේ පළ කරවූ ඒ ලිපිය මෙසේ ය:- 

“ජෙතවණං අනාථපිණ්ඩිකෙන කොටිසංථතෙන දෙති ඛෙමා”

         මෙහි පෙනෙන භාෂාව මාගධියට වඩා පාළියට ළංව තිබේ. මෙහි අන්තයෙහි තිබෙන ඛෙමා යන්න එසේම දැයි කැස කටයුතුය; එය තේරුම් ගැනීට ද අපහසු ය. ඉතිරි වචන හතර වෙනසක් නොකරම පාළිබසට ගත හැක. ශාක්‍ය ජනපදයේ කපිලවස්තු සමීපයෙහි වූ පුරාණ ස්තූපයකින් ලැබුණු ගල් කරඬුවක වටේ බ්‍රාහ්මී අකුරුවලින් කොටා තිබුණ ශිලාලිපිය බුද්ධකාලයේ පැවති එරට භාෂාවේ තත්වය යන්තමින් දැනගැනීමට උපකාර වේ. එය මෙසේ ය:- 
               
“ඉයං සලිලනිධනෙ ඛුදස භගවතො සකියානං සුකිතිගතානං සභගිනිකානං සපුතදලනං” 

භාග්‍යවත් බුදුරජාණන්ගේ මේ ශරීර (ධාතු) නිධානය මනා භක්ති ඇති සහෝදරියන් හා පුත්‍රදාරාවන් සහිත ශාක්‍යයන්ගේ ය යන තේරුම එයින් ලැබේ. මෙය කෝශලීය භාෂාවට වඩා මාගධීය භාෂාවට නෑකම් ඇත්තා සේ පෙනේ. ර – ක ර ලකාර බවට පැමිණීමත් ප්‍රථමා එකවචන එකාරාන්තව සිටීමත් එහි පෙනේ. (මෙය ද යථෝක්ත ශිලා ලේඛන සංග්‍රහයෙන් ගන්නා ලදී.) 

ක්‍රිස්තු භක්තිකයෝ තමන්ගේ බයිබලය මුල දී ලියා තිබුණු හේබ්‍රෑ භාෂාව ලෝකයේ මුල්බසයයි කීහ. මහමදිකයෝ කුරාන්පොත ලියා තිබෙන භාෂාව මුල්බසයයි කීහ. වෛදිකයෝ වේද භාෂාව මුල්බසයයි කීහ. බෞද්ධයන් මාගධිය මුල්බසය කීමත් එවැනි එකකි. මෙකල පවත්නා භාෂාවලින් වෛදික භාෂාව ඉතා පැරණිය. නමුත් එය පවා ලෝකවාසීන්ගේ මුල්බස වී යයි කෙසේ කිය හැකි ද? ලිපි ශාස්ත්‍රය මිනිසුන් විසින් නිපදවන ලද්දේ මින් අවුරුදු පන් දහසකට හෝ හයදහසකට පමණ පෙරදීය. භාෂාව ව්‍යවහාරය ඊට බොහෝ කලකට පෙර සිට පැවැත්තේ ය. අපට දැන් දැනගත හැක්කේ යම් භාෂාවක් යම් කලක ලේඛනගත වී නම් ඒ කාලයේ හෝ ඉන් මෙහා පැවති භාෂාතත්වයක් පමණය. ලේඛනගත කිරීමට පෙර අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ඒ බස කොයි කොයි ආකාරයෙන් වෙනස් වෙමින් පැවැත්තේ යැයි දැන ගැනීමට මගක් නැත. එ බැවින් ලෝකයේ මුල් බස සෙවීම සංසාරයේ මල සෙවීම මෙන් නො කළ හැකි වැඩකි; නිෂ්ඵල ක්‍රියාවකි. 

මීළඟට විමසිය යුත්තේ බුද්ධ ධර්මය ලියවී තිබෙන භාෂාව මගධයේ භාෂාව වී ද යන්නයි. “නිගණ්ඨනාථපුත්ත” යයි අපේ පොත්වල දැක්වෙන ඥාතපුත – මහාවීර නමැති ජෛන ශාස්තෘවරයා අපගේ ගෞතම බුදුරදුන් සේම ක්ෂත්‍රියවංශයෙහි උපන්, ශරීර ලක්ෂණවලින් ද බොහෝ සේ බුදුරදුන්ට සමාන වූ මේ ශාස්තෘවරයාගේ ආගම ජෛනාගම යන නමින් පවතී. ඒ ආගමෙහිත් බෞද්ධාගම හා බොහෝ සමානකම් ඇත. එතුමා ධර්මප්‍රචාරය කරමින් ඇවිද්දේත් බොහෝසේම මගධ – වජ්ජි – මල්ලාදීන්ගේ දේශවලය. එතුමාගේ දේහත්‍යාගය සිදු වූයේ අප බුදුරදුන් පිරිනිවීමට අවුරුදු දෙකතුනකට පෙර කුසිනාරාවට නුදුරු පාවානුවර දී ය. එතුමාගේ ධර්මය ලියවී තිබෙන්නේ ආර්ෂමාගධී හෙවත් අර්ධමාගධී බසිනි. මෙය මගධය හා සම්බන්ධ කම් ඇති භාෂාවකි. එබැවින් අපේ පාළිභාෂාවේත් එය හා ඉතා ළං වූ සම්බන්ධයක් ඇතිවිය යුතුය. එසේ ළං වූ සම්බන්ධයක් ඇද්දැයි සෙවීම සඳහා ජෛනයන්ගේ ප්‍රධාන සූත්‍රයක් වූ (ආයාරඞ්ග=) ආචාරඞ්ග සූත්‍රයෙන් පාඨයක් ගෙනහැර දක්වමි:- 

“කම්මා ඛලු අයං පුරිසෙ ජො ඉමාඔ දිසාඔ අනුසංවරඉ සබ්බාඔ දිසාඔ අනුදිසාඔ සාහෙති අණෙ ගරූවාඔ ජොණීඔ සංධෙඉ විරූවරූවෙ ඵාසෙ පඩිසංවෙදෙඉ, තත්ථ ඛලු භගවතා පරිණ්ණාපවෙඉයා ඉමස්ස චෙව ජීවයස්ස පරිවංදණ – මාණ්ණ – පූයණාය, ජාඉ – මරණ – මොයණාය” 

මේ භාෂාවේ අපේ පාළිය හා යන්තම් සමානකමක් මිස ළං වූ සම්බන්ධයක් නො පෙනේ. මේ අර්ධමාගධියෙහි ද මාගධභාෂාව හා වෙනස් තැන් ඇත්තේ ය. ධර්මාශෝකාධිරාජයන්ගේ ශිලාලිපි බොහෝමයක ඇතුළත්ව තිබෙන්නේ දේශීය මාගධීභාෂාවයි. එහි විශේෂ ලක්ෂණ වශයෙන් පෙනෙන්නේ සියලු ර – කාරයන් ල – කාර බවට පැමිණීම, ප්‍රථමා – ඒකවචනය ඒකාරාන්තව සිටීම ආදියයි. භාබ්‍රෑ ලිපිය යි කියනු ලබන අශෝක ලිපියෙහි රාහුලොවාද යන්න ලියා තිබෙන්නේ ලාඝුලොවාදෙ වශයෙනි. නිග්‍රිවස්තම්භ ලිපියෙහි දෙවානං පියෙන පියදසින ලාජින චොදසවසාහිසිතෙන බුද්ධස කොනාකමනස ථුවෙ දුතිය වඪිතෙ යන්න පෙනේ. මෙය අපේ පාළියට පෙරළුවහොත් මෙසේ ය:- “දෙවානං පියෙන පියදස්සිනා රාජෙන චුද්දසවස්සාභිසිත්තෙන බුද්ධස්ස කොනාගමනස්ස ථූපො දුතියං වඩ්ඪිතො” මේ දෙක ගළපා බලන විට මාගධියෙහි ද්විත්ව අකුරු බොහෝ සේ අඩුබව පෙනේ. “චුද්දසවස්සාභිසිත්තෙන” යන තැන තිබෙන සංයුක්තාක්ෂර කිසිවක් මාගධියෙහි නැත “ථුවෙ, වඩ්ඪිතෙ” යන දෙතැන්හි ප්‍රථමා ඒකවචනය ඒකාරාන්තව පෙනේ. අපේ රතනසූත්‍රයෙහි “වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ” යන තැන පෙනෙන්නේත් මේ ඒකාරාන්ත රූපයයි. දික්සඟියේ සාමඤ්ඤඵල සූත්‍රාදියෙහි අන්‍යතීර්ථඞ්කරයන්ගේ කීම් වශයෙන් දක්වා තිබෙන “දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකතෙ සංසාර, නත්ථිභායන – වඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ, වීසෙඉන්ද්‍රිය සතෙ, තිංසෙ නිරයසතෙ, එකූනපඤ්ඤාස ආජීවකසතෙ, නත්ථි අත්තකාරෙ, නත්ථි පරකාරෙ, නත්ථි පුරිසකාරෙ” යනාදීහු ද මේ මාගධ රීතිය අනුගමනය කළ පාඨ වෙති.

පාළිය පිළිබඳ පඬිවරුන්ගේ මත. 

මැක්ස් වැලේසර් (Max Walleser) පඬිතුමා පාළි – ශබ්දය “පාටලී” ශබ්දයෙන් බිඳී ආයේ යයි ද එය පාටලිපුත්‍ර නගරයේ භාෂා වී යයි ද කීය. ඊ.ජේ. තෝමස් මහාචාර්යවරයා ආදි බොහෝ පඬිවරු එය ප්‍රතික්ෂේප කළහ. ප්‍රථම පාළි ඉංග්‍රීසි අකාරාදිය සම්පාදනය කළ ආර්. සී. චිල්ඩර්ස් පඬිතුමා එය එකල මිනිසුන් අතර ව්‍යවහාරයෙහි පැවති භාෂාවකැයි කීය. ජේමිස් අල්විස් (සිංහල) පඬිතුමා එය මගධදේශවාසීන්ගේ ව්‍යවහාර භාෂාව වී යයි ද එබැවින් “මාගධි භාෂා” යයි කීම පාළි භාෂාව යයි කීමට වඩා ගැළපේ යයි ද කීය. ජර්මන් ජාතික එච්. ඕල්ඩන් බර්ග් පඬිතුමා පාළිය කලිඟු රටෙන් ලක්දිවට ගෙනා බසකැයි කීය. පාළිභාෂාවේ උත්පත්තිස්ථානය වින්ධ්‍යාකඳුවැටියෙන් උතුරෙහි නොව එයින් දකුණෙහි සෙවිය යුතු යයි ද ඒ මහතා කීය. සර් ජෝර්ජ් ග්‍රයර්සන් (Grirrson) මහතා පාළි සාහිත්‍යයේ භාෂාව මාගධී යයි කීය. වින්ටර්නීට්ස් පඬිතුමා පාළිභාෂාව බෞද්ධයන්ගේ සාහිත්‍ය භාෂාව වී යයි ද එය භාෂා කීපයකගේ සම්මිශ්‍රණයෙන් ඇති වුවත් එය හා වැඩි සම්බන්ධයක් මාගධියෙහි ඇති බැවින් එයට “මාගධී භාෂා” යයි කීමෙහි සත්‍යයක් ඇතැයි කීය. 

වැස්ටර්ගාඩ් (Westergaard) කුන් (Kuhn) යන පඬිවරු මහින්දමහතෙරුන් උජ්ජේනියෙහි විසූ බැවිනුත් අශෝක ශිලාලිපිවල තිබෙන ගිර්නාර් බස හා පාළියේ සමානත්වයක් ඇති බැවිනුත් පාළිය උජ්ජේනි ප්‍රදේශයෙහි පැවති භාෂාව යයි කියත්. රීස් ඩේවිඩ්ස් පඬිවරිය ද ඒ අදහස අනුමත කරයි. එච්. ලූඩර්ස් මහතා මුලදී බුද්ධධර්මය අර්ධමාගධියෙන් ලියන ලදුව පසුව එයින් පාළියට පෙරළන ලදැයි කියයි. ස්ටැන්කෝනෝ (Sten Konow) පඬිතුමා වින්ධ්‍යා පර්වත සමීපස්ථ පෙදෙස පාළියේ මුල්බිම යයි කියමින් පාළිය හා පෛශාචී භාෂාව අතර ඇති සාම්‍ය පෙන්වයි. ග්‍රයර්සන්,ෆැරැන්කේ යන පඬිවරු ද කෝනෝ මහතාගේ අදහස පිළිගනිමින් පාළියේ මුල පෛශාචී භාෂාව යයි කියත්. අවන්තිරට ථෙරවාදීන්ගේ බලකොටුවක් විය. උජ්ජේනිය අවන්තියේ අගනුවර ය. මිහිඳු මහතෙරුන්ගේ මෑණියන් උපන් පෙදෙස එයයි. මිහිඳු කුමරා ඇති දැඩි වූයේ පාටලීපුත්‍රයෙහි නොව අවන්තියෙහි යයි කියන ඒ පඬිවරු ඊට හේතු වශයෙන් අසන්ධිමිත්‍රා බිසොව ධර්මාශෝකයන් රාජ්‍යය ලබන්ට පෙර භාර්යා තනතුරෙහි තබාගත් නමුත් රාජ්‍ය ලැබූ පසු අන්‍ය බිසොවක් අගමෙහෙසුන් තනතුරෙහි තබාගත් බැවින් කලින් බිසොව ඇගේ මව්පියන් වෙතම විසූ බව පෙන්වති. අවන්ති රටේ එකල ව්‍යවහෘත භාෂාව පෛශාචී විය. භාෂාශාස්ත්‍ර විශාරදයෙක් වූ මහාකාත්‍යායන මහතෙරුන්ගේ ජාතභූමිය ද අවන්තියයි. වෘහත්කථා නමැති විශාල ග්‍රන්ථය මුලදී ලියන ලද්දේ පෛශාචී භාෂාවෙනි. ඒ භාෂාවේත් පාළියේත් ඇති සමානත්වය දක්වන නලිනාක්ෂදත්ත මහතා කුමාරපාල චරිතයෙන් ගත් ගති පෛශාචී වාක්‍යයක් හා එහි පාළි පරිවර්තනය මෙසේ පෙන්වයි:- 

පෛශාචී: “පඤ්ඤාන රජියා ගුණනිථිනා රඤ්ඤා අනඤ්ඤපුඤ්ඤෙන චින්තෙතබ්බං මතනාදිවෙරිනො කෙහි විජෙතබ්බා 

පාළියට නැගූ විට: “පඤ්ඤානං රාජිනා ගුණනිධිනා රඤ්ඤා අනඤ්ඤ පුඤ්ඤෙන චින්තෙතබ්බං මදනාදිවෙරිනො කෙහි විජෙතබ්බා” 

පාළියට සමීපත්වයක් මේ භාෂාවෙහි පෙනේ. බෞද්ධාගමේ ඉතිහාසයක් ටිබැට් බසින් ලියූ “බුඩොන් රිචෙන්ඩුප්” මහතෙරනම විසින් ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය පෛශාචී භාෂාවෙන් ලියා තිබේ යයි කියා තිබීමත් මෙහි දී සැලකිය යුතු ය. ත්‍රිපිටකයේ භාෂාව පෛශාචියෙන් සකස්කර ගත් ශාස්ත්‍රීය භාෂාවය යන්න ඒ පඬිවරුන්ගේ පිළිගැනීමයි. නමුත් විල්හෙල්ම් ගයිගර් පඬිතුමා කියන්නේ එය අර්ධ මාගධියෙන් සකස් කරගත් ශාස්ත්‍රීය භාෂාවක් ය යන්නයි. ලාංකික පඬිවරයෙක් වූ සී.එච්. ඉසැඩ් වික්‍රමසිංහ මහතාගේ මතය වූයේ පාළිය අනුරාධපුර මහා විහාරීය භික්ෂූන්ගේ නිපදවීමක්ය යන්නයි. යම්කිසි බසක් අත්තිවාරම වශයෙන් තබා නොගෙන අලුත් ශාස්ත්‍රීය බසක් නිපදවීම ලෝකයේ නොකළ හැකි වැඩක් බැවින් බොහෝ දෙනෙක් ඒ මතය ප්‍රතික්ෂේප කළ හ. තීරණය මගධයෙහිත් කෝසලයෙහිත් භාෂා දෙකක් තිබෙන්නට ඇතත් ඒ දෙකේ බොහෝ සමානකම් තිබෙන්නට ඇත. මගධයෙහි බොහෝ කලක් විසූ බුදුරදුන්ට මාගධභාෂාව සියබස මෙන් ප්‍රගුණව තිබෙන්නට ඇත. මේ දෙරටෙහිම ශාස්ත්‍රීය කටයුතු හා ලිපිගනුදෙනු සඳහා සාමාන්‍ය භාෂාවක් පැවැත්තේ යයි සිතන්නට ද ඉඩ තිබේ. ප්‍රථම සංගීතියේ දී ත්‍රිපිටකය දැන් තිබෙන පාළි භාෂාවෙන් සංගායන කරන ලද්දේ නම් එය ගයිගර් පඬිතුමා කියන සේ මාගධියෙන් සකස් කොට ගත් බස විය යුතු ය. පාළි ත්‍රිපිටකය තරමට නැත්න් ඊට ළං වෙන තරමට පැරණි වූ සංස්කෘත ත්‍රිපිටකයක් ද විය. විමලප්‍රභා නමැති සංස්කෘත ග්‍රන්ථයෙහි වනාහි ත්‍රිපිටකය සයානූරටක සයානූභාෂාවකින් ලියන ලදැයි කියා ඒ භාෂාවන්ගේ නම් ද දක්වා තිබේ. මධ්‍ය ආශියාවේ පරීක්ෂණවල යෙදුණු ස්ටයින්, ග්‍රෑන් වැඩල්, ලෙකොක්, ලොයිමන්, හොඑර්න්ලේ, සිල්වෙන් ලැව් ආදී මහතුන් විසින් මධ්‍ය ආශියාවේ කාන්තාරවල තිබුණු නටබුන් අතරෙන් සොයාගත් නෂ්ටාවශිෂ්ට ග්‍රන්ථ කොටස්වල සංස්කෘත, ප්‍රාකෘත, කෞෂියන් බෝටනීස්, පුරාතන තිබ්බත, ප්‍රාච්‍යෙඓරේනියන් යන භාෂාවලින් ලියූ දහම් කොටස් දකින්ට ලැබී තිබේ. “උදානවර්ග” නමින් කියවෙන සම්පූර්ණ සංස්කෘත ධම්මපදය ද, සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂසූත්‍රය ද ප්‍රාකෘත ධම්මපදයක් ද ඒ පොත් අතරෙහි වෙති. කර්න් (Kern) පඬිතුමාගේ සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයේ පරිවර්තනයේ විඥාපනයෙහි සංස්කෘත – පාළි – ප්‍රාකෘත යන භාෂාවලින් ලියවී තිබෙන ධර්මපාඨවල වෙනස් සසඳා බලා ඒ ඒ ග්‍රන්ථයන් එකකින් එකක් පෙරළාගත් පෙරළාගත් ඒවා නොව එකම මූලග්‍රන්ථයකින් පෙරළාගත් බව ඔප්පුවේ යයි කියා තිබේ. මෙකියන මූල්‍යග්‍රන්ථයන්ගේ භාෂාව කුමක්ද යන්න නිශ්චය කර ගැනීමට සෑහෙන තරම් සාධක තවම ලැබී නැත. මේ පඬිවරුන් බොහෝ දෙනෙකුන්ගේ පිළිගැනීම නම් පාළි ත්‍රිපිටකයත් ඒ මුල් බසින් පාළියට නගන ලද්දේය යන්නයි. පාළි ත්‍රිපිටකය මගධයෙහි දී සකස් කරනු ලැබී නම් එය අවන්තිරට පාරේ ලක්දිවටත් දකුණු ඉන්දියාවටත් පැමිණියා මිස මගධයෙන් උතුරු දෙසට ගමන් කළ බවට සාධක නොපෙනේ. උතුරු දෙසට ගමන් කෙළේ සංස්කෘතාදී අන්‍යභාෂාවලට නැගුණු ත්‍රිපිටකයයි. නමුත් දැනට දක්නට ලැබෙන පිටකපොත් අතුරෙන් පාළි ත්‍රිපිටකය ඉතා පැරණි යයි නිගමනයට බැසිය හැකිය. ප්‍රථම සංගීතියේදී එය ඒ බසින්ම සංගීතියට නොනගන ලද්දේ  නම් ඊට නුදුරු කාලයකදීම ඒ බසට නගන ලදැයි පිළිගත යුතු ය. මෙසේ පාළිය බුද්ධධර්මය සංගෘහීත වූ බස් අතුරෙන් මුල්බසට නොවේ නම් ඉතා පැරණි බසයයි කිය යුතු ය. 

උපුටා ගැනීම – පාලි සාහිත්‍යය, දර්ශන විශාරද – මහාචාර්ය, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නාහිමි. පිටු, 01-16 

Leave a Reply